ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එක්සත් ජාතීන්ගේ කොමිසම හමුවේ සාක්ෂි දෙනවා - මංගල

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් පත් කොට ඇති කොමිසම හමුවේ තමා සාක්ෂි දීමට ඉදිරිපත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

එල් ටී ටී ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් සහ එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබූ වත්කම් හා ඒවාට සිදුවූ දේ පිළිබඳව තොරතුරු ලබා දෙන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

උතුරේ යුද්ධයේදී අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීමේ කොමිසමේ කටයුතු නිරීක්ෂණය කිරීමට සහ උපදෙස්දීම සඳහා විශේෂඥයින් තිදෙනෙකු පත් කලත් ඔවුන් රාජ්‍ය නායකයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් පත්කොට ඇති බවයි මංගල සමරවීර මන්ත්‍රීවරයා පැවසුවේ.

Image copyright AFP

එම විශේෂඥයන් ලෝකයේ ඉහලම ගණයේ ජාත්‍යන්තර නීතිඥවරුන් වශයෙන් සැලකෙන නමුත් ඔවුන් විවිධ ඒකාධිපති නායකයන් බේරා ගැනීමට ඉදිරිපත් වූ අය බව ඔවුන්ගේ පසුබිම දෙස බැලීමෙන් පෙනී යන බවයි ඔහු කියා සිටින්නේ.

බ්‍රිතාන්‍ය රජය පවා මානව හිමිකම් උල්ලංඝනය වීම් චෝදනාවලට ලක්වූ අවස්ථාවලදී ඔවුන් බ්‍රිතාන්‍ය රජයටත් සුදු හුණු ගෑමට කටයුතු කර ඇති බව සමරවීර මන්ත්‍රීවරයා පැවසුවේය.

එවැනි ජාත්‍යන්තර නීතිඥවරුන් පත්කිරීම කුමන්ත්‍රණයක් ලෙසට හඳුන්වා දෙන ඔහු ශ්‍රී ලංකා රජය ඔවුන් ජාතික පරීක්ෂණයකට උපදෙස් දීමට තෝරා ගැනීම තුලින් හමුදාව පාවා දී රාජ්‍ය නායකයන් බේරා ගැනීමට කටයුතු කරන බවට සැකයක් ඇති වන බවයි ප්‍රකාශ කළේ.

එල්ටීටීඊ නායකයකු වූ කුමාරන් පත්මනාදන් හෙවත් කේපී පිළිබඳවත් තොරතුරු හෙළිකරන බව පැවසූ මන්ත්‍රීවරයා එල්ටීටීඊ සංවිධානය සතුව පසුව රජයට භාරදුන් මුදල් සම්භාරය සහ රත්රන් තොග පිළිබඳව ප්‍රශ්න කරන බවත් ප්‍රකාශ කළේය.

රටේ අභ්‍යන්තර කටයුතුවලට ජාත්‍යන්තර මැදිහත් වීම් නතර කර ගත හැකි එකම මාර්ගය පිළිගත් ස්වාධීන දේශීය පරීක්‍ෂණයක් පැවැත්වීම බවත් මංගල සමරවීර මන්ත්‍රීවරයා පැවසුවේය.