පකිස්තාන් සරණාගතයන්ට අධිකරණයේ පිහිට

ශ්‍රී ලංකාවේ රැකවරණ පතන පාකිස්තාන් ජාතිකයන් පිටුවහල් කරනු ලැබීම අභියාචානාධිකරණ තීන්දුවක් අනුව තාවකාලිකව අත්හිටවනු ලැබ ඇත.

අධිකරණය එම පිටුවහල් කිරීම් නතර කරනු ලැබීමේ අතුරු තහනම් නියෝගයක් දෙන ලද්දේ ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ පතන පාකිස්තාන් කාන්තාවක් විසින් ඉදිරිපත් කරන ලද විවෘත පෙත්සමක් සලකා බලමින්.

තම දරුවන් තුන් දෙනකු බූස්ස කඳවුරේ රඳවා තබනු ලැබ ඇතැයි පවසන එම කාන්තාව සිය පෙත්සම මගින් කියා සිටින්නේ පාකිස්තානය තුල තම ජීවිතයට බරපතල තර්ජනයක් ඇති බවයි.

එම කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය මෙම අගෝස්තු මස විසි නව වෙනි දින තෙක් ඉහත කී පිටුවහල් කිරීම් අත්හිටවන ලද බවයි,පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනේ සිටි නීතිවේදී ලක්ෂාන් ඩයස් බීබීසී සංදේශයට කියා සිටියේ.

අධිකරණ තීන්දුව අනුව සෙසු පාකිස්තාන් ජාතිකයන් ඔවුන්ගේ රටට පිටුවහල් කරනු ලැබීම තාවකාලිකව නතර කෙරෙන බවයි, නීතිවේදී ලක්ෂාන් ඩයස් කියා සිටියේ.

“ශ්‍රී ලංකා රජයටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් වෙනත් සංවිධාන වලටත් මේ තත්වය යටතේ ඉහත කී පකිස්තාන් සරණාගතයන්ගේ ජීවිත සුරක්ෂිත වන ආකාරයේ විසඳුම් ක්‍රියා මාර්ගයක් කරා යොමු වෙන්න අවස්ථාව ලැබෙනවා” නීතිවේදියා පවසයි.

නාගරික සරණාගතයන්

නාගරික සරණාගතයන්ගේ ගණයට වැටෙන මෙම පකිස්තාන් සංක්‍රමණිකයන් වධ හිංසා සහ ස්ත්‍රී දූෂණ ආදියට ගොදුරු වූවන් වන අතර ඔවුන්ට සිය රටේ වෙනත් තැනක ජීවත් විය නොහැකි තත්වයක් පවතින හෙයින් වෙනත් රටවල පිළිසරණ පතන බවත් නීතිවේදී ලක්ෂාන් ඩයස් කියා සිටියි.

පකිස්තානයේ බහුතර සුන්නි ඉස්ලාමීය සහ මූලධර්මවාදී කොටස් වලින් ‘ෂියා’ ඉස්ලාමීය ,අහමදියා සහ ක්‍රිස්තියානි ජන කණ්ඩායම් වලට තර්ජන පවතින බව මාධ්‍ය වාර්තා මගින් ද පෙන්වා දෙයි.

කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා කියා තිබුණේ සංචාරක වීසා බලපත් මගින් ශ්‍රී ලංකාවට පිවිස සිටින පකිස්තාන් සරණාගතයන් පිටුවහල් කිරීමේ නෛතික බලයක් ඇති අතර එම ජනතාව භාර ගැනීමේ ජාත්‍යන්තර ගිවිසුමකින් තමන් බැඳී නොමැති බවයි .

එසේම එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය අනුව ඔවුන් භාර ගැනීම සඳහා ශ්‍රී ලංකාව එම ප්‍රඥප්තියට බැඳී නති බවයි ඇමතිවරයා ප්‍රකාශ කළේ.

ජාත්‍යන්තර නීතිය

තත්වය එය නමුත් වධ හිංසා පිටු දැකීමේ එක්සත් ජාතීන්ගේ ගිවිසුමට ශ්‍රී ලංකාව බැඳී ඇතැයි පෙන්වා දෙන නීතිවේදී ලක්ෂාන් ඩයස් එම ගිවිසුමේ තුන් වැනි වගන්තිය අනුව වධ හිංසා වලට ගොදුරු වීමේ අනතුර සහිත පුද්ගලයකු පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි බවයි පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර සම්ප්‍රධායික නීතිය අනුවත් ජීවිත අන්තරාය සහිත පුද්ගලයන් ඔවුන්ගේ රටවලට පිටුවහල් කල නොහැකි බවත් බවත් නීතිවේදී ලක්ෂාන් ඩයස් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ රැකවරණ පැතූ 128 දෙනකු යලි පකිස්තානයට පිටුවහල් කරනු ලැබ ඇති අතර තවත් හැත්තෑ පස් දෙනකු බූස්ස කඳවුරේ රඳවනු ලැබ සිටිති.

වෙනත් ස්ථානවල රැඳී සිටින්නන් ද සමඟ ශ්‍රී ලංකාවේ සරණාගත භාවය පතන පකිස්තාන් ජාතිකයන් ගේ මුළු සංඛ්‍යාව 1900 ක් පමණ වෙති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර