'දේශපාලනයට එන්නේ නැහැ' - මහේල

Image copyright Getty
Image caption මහේල ටෙස්ට් තරඟ 149 ක දී ශතක 34 ක් ඇතුළත් ලකුණු 11,814 ක් ලබා ගෙන ඇත

තමන් කිසිදා දේශපාලනයට පැමිණීමට හෝ ක්‍රකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු නොවන බවයි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් මහේල ජයවර්ධන පැවසීය.

තම අවසන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, 2015 දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තම අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය වනු ඇති බවයි.

'ගෙදරින් යන්නවෙයි'

“දේශපාලනයට ගියොත් මට ගෙදරින් යන්න වෙයි” යනුවෙන් ඔහු පැවසුවේ ශ්‍රී ලංකා-පකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරඟය ජයග්‍රහණය කිරීමෙන් පසු කොළඹ SSC ක්‍රීඩාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

අනාගතයේ දී ක්‍රිකට් පුහුණුකරුවකු වීමටද තමන් අපේක්ෂා නොකරන බව ඔහු සඳහන් කළේ “ක්‍රිකට් පුහුණුකරුවෙක් වෙන්න හොඳ ඉවසීමක් අවශ්‍යයි. මම හිතන්නෙ නැහැ මට ඒ ඉවසීම තියනව කියල” යනුවෙන් පවසමිනි.

“මම ඔබ සියලු දෙනාට ම ආදරය කරනවා, වසර ගණනාවක් තිස්සේ මට දැක්වූ සහයෝගයට ස්තුතියි, මගේ ක්‍රිකට් හැකියාවෙන් තවත් කුඩා කොටසක් ඉතුරු වෙලා තියනව. ලෝක කුසලාන තරඟාවලියේ දී ඒ ශක්තිය මුළුමනින්ම යොදා ගන්න බවට මම පොරොන්දු වෙනව. යනුවෙන් තමා දිරිමත් කළ ක්‍රීඩා ලෝලීන් ඇමතීමට ද ඔහු අමතක නොකළේය.

'මේ තොප්පිය මට ආඩම්බරයක් වුණා'

අවසාන වශයෙන් අදහස් දැක්වූ මහේල “ මං දන්නේ නැහැ මොනවාද කියන්න ඕන කියල එත් මම පොරොන්දු වෙනවා මම අඬන්නෙ නැහැ කියල. මගේ කණ්ඩායමේ සාමාජිකයන්ටත් මගේ ස්තුතිය හිමි වෙනව. මේ තරම් වසර ගණනාවක් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබීම වාසනාවක්. මම හැමදාම මේ තොප්පිය පැළඳගෙන හිටියේ ලොකු ආඩම්බරයකින් සහ ගෞරවයකින්” යනුවෙන් ද පැවසීය.

ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගත් මහේල ටෙස්ට් තරඟ 149 ක දී ශතක 34 ක් ඇතුළත් ලකුණු 11,814 ක් ලබා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර