චැසි අංකයෙන් සොයන්න බැරි උඩවලවේ අලි හොරු

Image caption මේ වන විට අලි පැටවා ඇත්අතුරු සෙවණේ රඳවා සිටියි

මැයි පළමු වනදා උඩවලව ජාතික වන උද්‍යානයෙන් අලි පැටවෙකු සොරකම් කිරීමට තැත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශන කටයුතු වලදී ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අනාවරණය වූ බැවින් නඩුව ඉදිරියට ගෙන යාම සඳහා අදහසක් නොමැති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දන්වා සිටියි.

වනජීවි දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අධිකරණයට සතුටු විය නොහැකි බව පැවසූ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරිය කාංචනා ද සිල්වා, අලි පැටවා රැගෙන යාමට පැමිණ හැර දමා ගිය අංක තහඩු රහිත ට්‍රැක්ටරයේ චැසි අංකය මගින් එහි අයිතිකරු සොයා ගත නොහැකිදැයි ප්‍රශ්න කළාය.

එහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ වනජීවි නිලධාරීන් පැවසුවේ කොළඹ ප්‍රධාන වනජීවි කාර්යාලය විමර්ශන කටයුතු කළ බැවින් ඒ සම්බන්ධයෙන් තමන් කිසිත් නොදන්නා බවයි.

ගම්වැසියන්ගේ විරෝධය

ඒ අනුව අලි පැටවා වන උද්‍යානයෙන් පිටතට රැගෙන යෑම සඳහා යොදා ගත් අතහැර දමා ගිය අංක තහඩු රහිත ට්‍රැක්ටරය හා අලි ඇල්ලීමට යොදා ගත් බවට සැක කෙරෙන කඹ ආදී උපකරණ ද රාජසන්තක කිරීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

අලි පැටවා පැහැර ගෙන යාමට පැමිණි පිරිස වනජීවි නිලධාරීන්ගේ සහ ගම්වැසියන්ගේ විරෝධය හමුවේයි එම උත්සාහය අතහැර සුඛෝපභෝගී වාහන වල නැග පලා ගියේ.

Image copyright Mahinda Pushpakumara
Image caption අතහැර දමා ගිය අංක තහඩු රහිත ට්‍රැක්ටරය

දේශපාලනඥයකුගේ ඥාතියකු

දෙනියාය ප්‍රදේශයේ පදිංචි ඉහළ පෙළ දේශපාලනඥයකුගේ ඥාතියකු මෙම අලි සොරකම මෙහෙයවා ඇති බව නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි වනජීවි දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවේය.

අලි පැටවා සොරකම් කිරීමට පැමිණි පිරිස එම අවස්ථාව ආවරණය කිරීමට ගොස් සිටි මාධ්‍යවේදී මහින්ද පුෂ්පකුමාර තේරසිංහටද පහර දුනහ.

පහර දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් සහ ඔවුන් පැමිණි වාහනවල ලියා පදිංචි අංක ඇතුළුව ඔහු විසින් ගොඩකවෙල පොලිසියට කළ පැමිණිල්ල මේ වන විට යටපත් වී ඇති බව ප්‍රහාරයට ලක් වූ මහින්ද පුෂ්පකුමාර තේරසිංහ පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර