ජවිපෙට තවත් ප්‍රහාරයක්

Image copyright CaFFE
Image caption 'සැරසිලි කඩා බිඳ දමා අහසට වෙඩි තබලා වේදිකාවට ගිනි තැබුවා'

ඊයේ රාත්‍රියේ මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් පිරිසකට නීති විරෝධී ගිනි අවි රැගත් ආරක්ෂක අංශ භාවිතා කරන ඩිෆෙන්ඩර් රථවලින් පැමිණි පිරිසක් පහරදී තිබේ.

ඊට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල කිහිපයකටද වෙඩි තැබීම් හා ගිණි තැබීම් සිදුවී ඇති බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානය පවසන්නේ.

ආණ්ඩුව සිය මැරයන් යොදා ගනිමින් මොනරාගල දිස්ත්‍රික්කයේ භීෂණයක් මවමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ (සඳුදා) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳව මාධ්‍යට කරුණු පැහැදිලි කරමිනුයි මෙම අදහස් පළ කළේ.

'භීෂණයක්'

Image copyright CaFFE
Image caption 'සැරසිලි කඩා බිඳ දමා'

"අද දින අප පක්ෂ නායක අනුර දිසානායක සහභාගී වන රැස්වීමක් බඩල්කුඹුරේදී පැවැත්වීමට සූදානම් කර තිබුණා. රැස්වීම සඳහා වේදිකාව ඉදි කරමින් සිටි අපේ පක්ෂයේ පිරිසකට එජනිසයට අයත් මැර පිරිසක් විසින් පහර දීලා වෙඩි තබලා සැරසිලි කඩා බිඳ දමා අහසට වෙඩි තබලා වේදිකාවට ගිනි තැබුවා. එදින රාති‍්‍රය පුරා එම ප‍්‍රදේශයේ සැරිසරමින් විශාල භීෂණයක් ඇති කළා" ටිල්වින් සිල්වා පැවසීය.

මෙම පහරදීමට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාල කිහිපයකටද වෙඩි තැබීම් හා ගිණි තැබීම් සිදුවී ඇති බව පැවසූ ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා නීති විරෝධී ගිනි අවි රැගෙන ආරක්ෂක අංශ භාවිතා කරන ඩිෆෙන්ඩර් රථවලින් පැමිණි මෙම පිරිස පොලිසියද පළවා හැර තිබෙන බවයි පැවසුවේ.

"අපේ අපේක්ෂකයෙක් වන විජේසිරි සහෝදරයාගේ නිවසට පැමිණි මැර පිරිස් විනාඩි 45ක් පමණ රැඳී සිටිමින්, බිත්තිවලට වෙඩිතබා බියවැද්දීම් කොට තිබෙනවා. එම ස්ථානයට පැමිණි පොලිසිය පලවා හැර තිබෙනවා, පොලිසියටත් ඔවුන්ව පාලනය කළ නොහැකි තත්වයක් ඇතිවී තිබෙනවා" ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය.

චෝදනා

ඊයේ රාත්‍රියේ සිදුවූ පහරදීම් වලට සම්බන්ධ බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති කපිල සමරක්කොඩිටයි.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ඔහු පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් තම කාර්යාලයට පහර දුන් බවයි.

"ඔවුන්ගේ 150ක් පමණ පිරිසක් ඇවිල්ලා කාර්යාලයට ගැහුවා, පොලිසියට කතා කරලා කිව්වා පොලිසිය එනකොට ඔවුන් ඉවත්වුණා, අපි ඔවුන්ගේ වේදිකාව ගිනි තියන්න ගියේ නැහැ, මොකද අපි ප්‍රාදේශීය සභාවෙන් එහෙම නම් අපි අවසර දෙන්නෙත් නැහැ ඒගොල්ලන්ට රැස්වීම තියන්න" බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති කපිල සමරක්කොඩි පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර