ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බලපත්‍ර නැති අලි පැටවා යළිත් හිමිකරුට

බලපත්‍ර නොමැති බව පවසමින් අත්අඩංගුවට ගත් අලි පැටවකු වනජීවී දෙපාර්තමේන්තුවේ එකඟතාවය මත නැවතත් එම අලි පැටවාගේ භාරකරුට භාරදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඉරිදා නාවල ප්‍රදේශයේ ඉඩමක රඳවා සිටියදී එම අලි පැටවා වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

පැටවා රඳවා ගෙන සිටි පුද්ගලයා රොෂාන් නිරෝජ් ප්‍රනාන්දු වශයෙන් හඳුනා ගෙන ඇති අතර අලි පැටවා සහ එම ස්ථානයේ සිටි තවත් දෙදෙනකුද අත්අඩංගුවට ගත් වනජීවී නිලධාරින් ඔවුන්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සත්‍ය තත්වය අනාවරණය කර ගන්නා තෙක් අලි පැටවා පින්නවල අලි අනාථාගාරයේ රඳවා තබන මෙන් ඉල්ලීමක් කළේය.

"ඉතාම කනගාටුදායකයි. මෙම ඉල්ලීමට වනජීවී නිලධාරීන් එකඟතාවය පළ කළේ නැහැ. ඔවුන් කියා සිටියා DNA පරීක්ෂණයකට ලක්කොට වාර්තාවක් ලබා ගන්නා තෙක් අලි පැටවා දැනට සිටින භාරකරු සතුව තබාගැනීම පිළිබඳව විරුද්ධත්වයක් නොමැති බව. ඒඅනුව පැටවා අදාළ භාරකරු වෙත නැවත පැවරීමට අධිකරණය නියම කළා," යනුවෙන් නීතිවේදී දාබරේ ප්‍රකාශ කළේය.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය තමන් තරයේ හෙලා දකින බව සත්ව අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියක වන අයිරාංගනී සිල්වා ප්‍රකාශ කළාය.

"හරිම කනගාටුදායකයි. අධිකරණය හමුවට පැමිණි වනජීවී නිලධාරීන් මහේස්ත්‍රාත්තුමා මතු කළ ප්‍රශ්නවලට හරියාකාරව පිළිතුරු පවා ලබා දුන්නේ නැහැ. ඔවුන් වගකීමකින් තොරව තමා හැසිරුනේ," යනුවෙන් ඇය චෝදනා කළාය.

එහෙත් අධිකරණය හමුවේ එම චෝදනා ප්‍රතික්ෂේප කළ වනජීවී නිලධාරීහු ඕනෑම අවස්තාවක පැටවා හඳුනා ගැනීමට හැකියාවක් පවතින බැවින් භාරකරුට පැවරීම පිළිබඳව අගතියක් සිදු නොවන බව සඳහන් කළහ.

විභාගය ලබන ඔක්තෝබර් මස 06 වනදාට කල් තැබූ අධිකරණය එදිනට අලි පැටවා පිළිබඳ DNA පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන මෙන් වනජීවී නිලධාරීන්ට නියම කළේය.