ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හරීන්ගෙන් ශෂින්ද්‍රට අභියෝගයක්

ගෙවුණු වසර පහ තුළ ඌව පළාතේ සිදු කර ඇති සංවර්ධනය සම්බන්ධයෙන් තමන් සමග විවාදයකට පැමිණෙන ලෙස ආණ්ඩු පක්‍ෂයේ මහ ඇමති අපේක්ෂක ශෂින්ද්‍ර රාජපක්ෂට එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු යළිත් අභියෝග කරයි.

"අවුරුදු පහක විශාල සංවර්ධනයක් කළා කියනවා නම්, දුප්පත් කම වැඩි වෙලා නැහැ කියනවා නම්. එතුමා මේ අභියෝගය බාර ගත යුතුයි, එතුමා කියලා තියෙනවා හැම පුද්ගලයෙකුටම ජංගම දුරකතනයක් තියෙන නිසා මේ පළාත් සංවර්ධිතයි කියලා, ඒවා ගැන අපි කතා කළ යුතුයි," යැයි පවසමින් අද කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එජාප ඌව පළාත් මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු ආණ්ඩුවේ මහ ඇමති අපේක්ෂකයාට අභියෝග කර සිටියේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ විවධ රජයේ විවෘතකිරීම්වලට එක්වෙමින් මේ දිනවල නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන බවද ඔහු පැවසීය. ඉරිදා සහ සඳුදා ජනාධිපතිවරයා ඌව පළාතේ පාසල්වල සහ රජයේ කාර්යාල විවෘත කිරීම් කිහිපයකට සහභාගි විය.

"එතුමා රැස්වීම් තැබීම සාධාරණයි, නමුත් මේ ලෙස විවෘත කිරීම් සහ මුල්ගල් තැබීම් වලට සහභාගිවීම නීතිවිරෝධියි. මෙවර ජනතාව ඒවාට උත්තර දේවි," යනුවෙන්ද හරින් ප්‍රනාන්දු පැවසීය.

ප්‍රචණ්ඩත්වය

ඌව පළාතේ මැතිවරණය එම පළාතේ ජනතාව සඳහා පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවේම ඉදිරි දේශපාලනයට වැදගත් වන බව කියා සිටි එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමති අපේක්ෂකයා රටට දැනෙන ඒ වෙනස කිරීම සඳහා ඌවේ ජනතාව මේ වන විට සුදානම් බවයි ප්‍රකාශ කළේ.

Image copyright president.gov.lk
Image caption 'රැස්වීම් තැබීම සාධාරණයි, නමුත් විවෘත කිරීම් සහ මුල්ගල් තැබීම් වලට සහභාගිවීම නීතිවිරෝධියි'

"ඊයේ මධ්‍යම රාත්‍රියේ දෙකයි තිහටත් මගේ කාර්යාලයක් ගිනි තියලා තියෙනවා, ආණ්ඩුවේ මැර බලය ප්‍රසිද්ධියේ රජකම් කරනවා ඌවේ, නමුත් මෙදා පාර ඌව පළාතේ ජනතා බලය මෙවැනි මැර දේශපාලනයට විරුද්ධව ක්‍රියාත්මක වෙන බව අපිට පේනවා," යනුවෙන් පවසමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු ආණ්ඩු පක්ෂයට චෝදනා එල්ල කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඇති අර්බුදය යළි මතුව තිබෙන බව මාධ්‍යවල පළ විය.

එම වාර්තා මගින් කියවුණේ සජිත් ප්‍රේමදාසට යළි නියෝජ්‍ය නායකත්වය ලබා දීම සඳහා පිරිසක් කළ ඉල්ලීමට තවත් පිරිසක් විරුද්ධ වූ බවයි.

ආදරෙයි

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා තවමත් පූර්ණ ලෙස ඌව මැතිවරණ වේදිකාවට ගොඩ වී නොමැති අතර සංදේශය අද පැවති මාධ්‍ය හමුවේදී විමසුවේ හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා බලාපොරොත්තු වූ පරිදි ඔහුට රනිල්, කරු සහ සජිත් එක් වේදිකාවකට ගොනු කර ගත හැකිද යන්නයි.

"මට විශ්වාසයි තුන් දෙනා එකට එකතු වෙයි කියලා, තුන් දෙනාම පක්ෂයට ආදරෙයි, ආදරය අඩුවක් තියනවා නම් ඒක පේයි. මම තනතුර ගැන හිතුවේ නැහැ. මම ආදර්ශයක් දුන්නා මට තනතුර ලොකු නැහැ කියලා. ඒකෙන් හරි පොඩි දෙයක් මේ නායකයෝ ගනී කියලා මම හිතනවා’ යනුවෙන් හරීන් ප්‍රනාන්දු සංදේශය යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නේය.

ජනපති පුත් නාමල් රාජපක්ෂ සමග තමන් රහස් සාකච්ඡාවක් පැවැත් වූ බව ආණ්ඩුවේ අවශ්‍යතා ඉටු කරන පුවත්පතක් වාර්තා කර ඇති බව පැවසූ හරින් ප්‍රනාන්දු එම පුවත්පත් සමාගම කාලයක් තිස්සේ එහි අයිතිකරුගේ අවශ්‍යතා ඉටු කිරීමට තමාට හා එක්සත් ජාතික පක්ෂයට පහර දෙමින් සිටින බවයි පැවසුවේ.

රහස් සාකච්ඡා

"හොරෙන් ඩීල් ගහනවා නම් එළිපිට හම්බ වෙන්නේ නැහැනේ, ඇයි අපිට දුරකථන නැතුව නෙමෙයි නේද? ,එස් එම් එස්, වට්ස් ඇප්, වයිබර් නැතුව නෙමෙයයිනේ, එහෙම හොරෙන් ඩීල් ගැහුවේ දයාසිරි ජයසේකර’ යැයි එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කියා සිටියේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හා හරින් ප්‍රනාන්දු අතර මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පැවති හමුවට එක්ව සිටි ආණ්ඩු පක්ෂයේ බදුල්ල දිස්ත්‍රීක් මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර සංදේශයට කියා සිටියේ ඔවුන් අතර සිදු වූයේ දේශපාලන සාකච්ඡාවක් නොව සුහද හමුවීමක් පමණක් බවයි.

විපක්ෂය කුමන චෝදනා එල්ල කළත් ජනතාව සිටින්නේ ආණ්ඩු පක්ෂය සමග බව උදිත ලොකුබණ්ඩාර මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.