එඩින්බරා සිට යාපනයට අන්තර්ජාල සංගීත පාඩම්

එඩින්බරා සිට යාපනයට අන්තර්ජාල සංගීත පාඩම්

උතුරේත් දකුණේත් දිළිඳු දරුවන්ට සංගීතය ඉගැන්වීමේ සිය වාර්ෂික වැඩමුළුවලින් අනතුරුව, අන්තර්ජාලය මාර්ගයෙන් එම දරුවන්ට වසරක් මුළුල්ලේ නොමිලේ සංගීතය ඉගැන්වීමට බලාපොරොත්තු වන බව බ්‍රිතාන්‍යයේ සේවය කරන ලාංකීය සංගීත ශිල්පිනියක් පවසන්නීය.

පසුගිය සතියේ මීගමුවේ පාසල් දරුවන් හමු වූ ආචාර්ය ටාන්යා ඒකනායක අඟහරුවාදා සිට ලබන සඳුදා දක්වා උතුරේ දිස්ත්‍රික්ක ගණනාවක සහ හම්බන්තොට දරුවන් හමුවෙමින් සිටින්නීය.

"එක වැඩමුළුවක් නෙවෙයි, ඊට පස්සේ ඒගොල්ලන්ට අවස්ථාව තියෙනව මගෙන් ගොඩක් සංකීර්ණ විදියට තමන්ගේම සංගීත ශෛලිය වැඩි දියුණු කරන්නේ කොහොමද කියන දේවල් හදාරන්න," යනුවෙන් ඇය සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක් වෙමින්.

මීට පෙරාතුව වසරවලදී උතුරේ සහ හම්බන්තොට දරුවන්ට සංගීතයේ අත පොත් තැබූ ඇය මීගමුවේ පාසල් විස්සක දරුවන් 113 කට වැඩිහිටියන් 25 කට ගුරුහරුකම් දුන්නේ පළමු වතාවට.

ඡායාරූප මූලාශ්‍රය, Tanya Ekanayaka

ඡායාරූප ශීර්ෂ වැකිය,

'සමහර දරුවෝ පුටු බෙර හැටියට පාවිච්චි කරලා, ගායනයත් එක්ක නිර්මාණ හදනවා'

"ඒගොල්ලන් එයාලගෙම සංගීත නිර්මාණය කරලා ඒවා එලි දක්වනවා. සංගීත නිර්මාණය සහ එලි දැක්වීම කොටස් දෙකම ඒකට ඇතුලත්," යනුවෙන් ඇය සඳහන් කළාය.

"සංගීතය කිවුවහම ඕනෑම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. සමහර දරුවෝ පුටු අරගෙන ඒවා බෙර හැටියට පාවිච්චි කරලා, ගායනයත් එක්ක එකතු කරලා නිර්මාණ හදනවා."

මීගමුවේ වැඩමුළුවෙන් අනතුරුව ඒ දරුවන් යලි නිවෙස් බලා යාම ප්‍රතික්ෂේප කළ අවස්ථාව ඉතා හැඟුම්බර මොහොතක් වූ බව ආචාර්ය ටාන්යා එකනායක සංදේශයට කියා සිටියාය.

ස්කොට්ලන්තයේ එඩින්බරා විශ්ව විද්‍යාලයේ සංගීතය පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන, ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ පියානෝ ශිල්පිනියක් වන ටාන්යා ගේ ගේ මේ වසරේ ශ්‍රී ලංකා චාරිකාවට අදාළ සියලු බර පැන දරන්නේ එඩින්බරා විශ්ව විද්‍යාලය විසින්.

"අපි මේ වැඩමුළුවලට එන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දවල් කෑම සහ තේ දෙනවා නොමිලේ. මොකද මගේ විශ්වාසය තමයි සංගීතය වගේ දෙයක් නිර්මාණය කරන්න බැහැ ළමයි බඩගින්නේ ඉන්නවා නම්."

එහෙත් තමන් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වන්නේ සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා පදනමෙන් බවද සංගීත ශිල්පිනිය සඳහන් කළාය.