ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හරීන් සමග රහස් සාකච්ඡාවක් නැහැ - නාමල්

එක්සත් ජාතික පක්ෂ ඌව මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු සමග කිසිදු රහස් සාකච්ඡාවක් නොපැවැත් වූ බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

හරීන් ප්‍රනාන්දු සහ නාමල් රාජපක්ෂ අතර රහස් සාකච්ඡාවක් පැවති බවට පසුගිය දා මාධ්‍ය වාර්තා පළ විය.

එම හමුවීම, හරීන් ප්‍රනාන්දු එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වීමේ මූලික සාකච්ඡාවක් බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ.

එම වාර්තා ප්‍රතික්ෂේප කළ හරීන් ප්‍රනාන්දු කියා සිටියේ ආණ්ඩුවේ අවශ්‍යතා ඉටු කරන පුවත්පත් හා වෙබ් අඩවි මෙම සුහද හමුව රහස් සාකච්ඡාවක් බවට පත් කොට තමාට එරෙහි අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි.

දෙබිඩි පිළිවෙතක්?

ඒ සමග නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සඳුදා බදුල්ලේ පැවති මැතිවරණ රැළියක් අමතමින් කතාබහට ලක් වූ හමුව පිළිබඳව අදහස් දැක්වීය.

"කොහෙන් ගියත් මඩ ගහන එකෙන් තමයි නතර වෙන්නේ. ඊයේ පෙරේදා හරීන් අයියයි මායි හම්බ වුනා. අපි දෙන්නා හම්බන්තොට රැස්වීම් තියෙන කොටත් ඒ පැත්තේ ඇවිල්ලා හම්බ වෙනවා. දෙන්නා දෙපැත්තට ගිහිල්ලා මරා ගත්තා කියන්නකෝ, කාර්යාලයක් ගිනි තියා ගත්තා කියන්නකෝ, ඒත් බනිනන්වා," යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රැළිය අමතමින් කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා සහ ජනාධිපතිවරයාට හමු විය හැකි නම් තමන් මෙලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හමුවීමේ වරද කුමක් දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

"රනිල් වික්‍රමසිංහට අපේ තාත්තත් එක්ක තේ එකක් බොන කොට හොඳයි. හරීන් අයියා මාත් එක්ක තේ එකක් බිව්වහම ඌට ගහනවා කොනක ඉඳන්. ඕක තමයි අද විපක්ෂයේ දේශපාලනය," යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේය.

තමන්ට රහස් සාකච්ඡාවක් කිරීමට අවශ්‍ය නම් තමන් බදුල්ලට පැමිණ එළිමහනේ නොකරන බව පැවසූ මන්ත්‍රීවරයා එවන් සාකච්ඡාවක් ඇති වුනොතින් තමන් එය ඉදිරියේ ඇවිත් ප්‍රකාශ කරන බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ.