ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බිලි පූජාවට බලපත්‍ර අවශ්‍යයි - ශ්‍රේෂ්ඨාධිකරණය

හලාවත, මුන්නේෂ්වරම ශ්‍රී භද්‍රකාලි දේවාලයේ වාර්ෂික සත්ව බිලි පූජාව නිසි බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

අභියාචනාධිකරණය මිට පෙර තීන්දු කර තිබුණේ අදාළ සත්ව බිලි පූජාව නිදහසේ පැවැත්වීමෙන් සත්ව හිංසා පනත උල්ලංඝනය වන අතර ඒ සදහා හලාවත ප්‍රාදේශීය සභාවෙන් නිසි බලපත්‍රයක් ලබා ගත යුතු බවයි.

නිසි බලපත්‍ර නොමැතිව සත්ව බිලි පූජාව පවත්වනු ලැබුවොත් අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසියට බලය පවතින බවද එම නඩු තීන්දුවේ සඳහන් කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව දේවාල පරිපාලනය ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කරමිනුයි අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය කළේ.

මෙම තීන්දුව තමා අගය කරන බව සත්ව සුබසාධන භාරයේ සභාපතිනි අයිරාංගනී ද සිල්වා ප්‍රකාශ කළාය.

‘මේ තීන්දුව අපි අගය කරනවා. මින් පසුව සත්ව බිලි පූජා නිදහසේ පවත්වන්න බැහැ. ඒ සඳහා අදාළ ආයතන වලින් බලපත්‍ර ලබාගත යුතුයි.’ ඇය ප්‍රකාශ කළාය.

ජාතික සංඝ සම්මේලනයේ පාහියංගල ආනන්දසාගර හිමියෝ අදහස් දක්වමින් මෙම තීන්දුව අගය කරන බව කියා සිටියහ.

‘බිලි පූජා දැන් දිවයින පුරා පැවැත්වෙනවා. ඒවා නැවැත්වීමට බලධාරීන් පසුගිය කාලයේ ප්‍රමාණවත් පියවර ගත්තේ නැහැ. ඊට එරෙහිව අපි සටන් කළා. අද එහි ප්‍රතිඵල ලැබී තිබෙනවා.’ උන් වහන්සේ ප්‍රකාශ කළහ.

කෝවිලේ ප්‍රතිචාරය

සංදේශය කල විමසීමක දී ශ්‍රී භද්‍රකාලි දේවාල පාර්ශවයේ නීතිවේදීන් කියා සිටියේ මෙම තීන්දුව පිළිබඳව තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

නමුත් මේ පිළිබඳව සංදේශය කළ විමසීමක දී මුන්නේස්වරම ශ්‍රී භද්‍රකාලි කෝවිලේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාතසුන්දරම් කියා සිටියේ වසර තුන්සියයක් පමණ තිස්සේ කර ගෙන ආ මෙම පූජාව පසු ගිය තුන් වසර පුරා පැවැත්වීමට නොහැකි වීම කනගාටුවට කරුණක් බවයි.

‘කාලි අම්මට අවශ්‍යම පූජාව තමයි මේක. ඒකට හැම අතින් ම අවහිර කරනවා. අපේ ආගමේ හැටියට ප්‍රධාන ම පූජාව කර ගන්න බැරි වෙනවා.’ ප්‍රධාන පූජකවරයා පැවසීය.

දිනකට දහස් ගණනක් සතුන් ආහාරය සඳහා ‘මස් කඩවල කැපෙද්දී’ වසරකට එක් වරක් පමණක් පැවැත්වෙන පූජාව තමාට කර ගැනීමට නොහැකි වී ඇති බව ද මුන්නේස්වරම ශ්‍රී භද්‍රකාලි කෝවිලේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාතසුන්දරම් තවදුරටත් කියා සිටියේය.