ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද අපරාධ: විමර්ශන පමණයි 'දඬුවම් දෙන්න බෑ'

අතුරුදහන්වීම් සහ යුද අපරාධ චෝදනා පරීක්ෂා කරන ජනාධිපති කොමිසමට උපදෙස් දෙන ජාත්‍යන්තර විශේෂඥයන් දිවයිනට පැමිණ සිටියත් ඔවුන් සිය විමර්ශනවලට සම්බන්ධ නොවන බව කොමිසමේ සභාපතිවරයා පවසයි.

තවමත් ඔවුන් තමන් හමු නොවූ බව පවසන හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම, යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධ සිය ඉදිරි විමර්ශනයට හමුදා නිලධාරීන් සම්බන්ධ කර නොගන්නා බවත් සංදේශයට කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව පැවසෙන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳව දේශීය විමර්ශනයක් පැවැත්වීම රජය විසින් පසුගිය ජුලි මාසයේ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම වෙත පැවරීය.

Image caption 'විශ්‍රාම ගිය හමුදාවේ අය පත් කළත් කෑ ගහනවා, පොලිසියෙන් පත් කළත් කෑගහනවා'

කොමිසමට අවශ්‍ය උපදෙස් ගැනීම පිණිස පස්දෙනකුගෙන් යුත් ජාත්‍යන්තර උපදේශක මණ්ඩලයක්ද පත් කරන ලදි.

යුද අපරාධ

අතුරුදහන්වූවන් පිළිබඳ පැමිණිලි භාර ගන්නා අතරවාරයේ යුද අපරාධ සහ මානව හිමිකම් කඩ කළ බවට එල්ල වන චෝදනා පිළිබඳව තමන්ට වාර්තා වූ බව පැවසූ කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම ඒ පිළිබඳව රජයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුව යුද අපරාධ ගැන සොයා බැලීමට හැකිවන පරිදි රජය තම කොමිසමේ විෂය පථය පුළුල් කළ බව සඳහන් කළේය.

ඒ අනුව යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන චෝදනා පිළිබඳව ඉදිරියේදී පැමිණිලි භාරගැනීමට තම කොමිසම සූදානම් වන බව ඔහු කියා සිටියේය.

Image caption යුද අපරාධ චෝදනා පිළිබඳව 'ඉදිරියේදී පැමිණිලි භාරගැනීමට කොමිසම සූදානම්'

"ඒ විමසීම් අනුව යම් කරුණු ඉදිරිපත් වුනොත් යුද අපරාධ පිළිබඳව තවදුරටත් විමර්ශන කිරීමට අවශ්‍ය වුවහොත් අපි විමර්ශන කණ්ඩායම් මාර්ගයෙන් විමර්ශනය කරලා ඒ ගැන තීරණයක් ගන්නවා," යනුවෙන් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලටද යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බැවින් එම චෝදනා විමර්ශනයට යුද හමුදාව සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු නොවන බවද සභාපතිවරයා පැවසීය.

"විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයෙක් පත්කරන ලෙස අපි යෝජනා කරලා තියෙනවා. විශ්‍රාම ගිය හමුදාවේ අය පත් කළත් කෑ ගහනවා, පොලිසියෙන් පත් කළත් කෑගහනවා. මේකට හරි අමුතු මිනිහෙක් උපදවන්න ඕනේ මේ විමර්ශනය කරන්න."

දඬුවම් දෙන්න බෑ

තම කොමිසමට උපදෙශ්දීම සදහා ජාත්‍යන්තර උපදේශකයන් පත් කරනු ලැබුවේ කොමිසම කළ ඉල්ලීමක් පරිදි බව පැවසූ හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම, ඔවුන් කිසිවිටකත් කොමිසමේ පාර්ශවකරුවන් නොවන බවද අවධාරණය කළේය.

ඉන් තිදෙනකු දැන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටී.

"පරීක්ෂණවලට ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සමහර විට පරීක්ෂණ බලන්න එයි. අපිට උපදෙස් දේවි පරීක්ෂණ වැඩි දියුණු කළ හැකි ආකාරය ගැන. ඒ උපදෙස් අපිට අදාළ නම්, හොඳ නම් තීරණය කරලා අපි ගන්නවා."

තම කොමිසමට කළ හැක්කේ මෙම සිදුවීම් වලට සම්බන්ධ අය පිළිබඳව ජනාධිපතිවරයාට කරුණු දැක්වීම පමණක් බව පැවසූ අතුරුහන්වුවන් සොයා බැලීමේ කොමිසමේ සභාපතිවරයා, ඔවුන්ට දඬුවම් දීම පිළිබඳව තීරණය ජනාධිපතිවරයා හා නීතිපතිවරයා සතු බව සඳහන් කළේය.