ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජාත්‍යන්තර පරීක්ෂණයකට බය නෑ - සරත් ෆොන්සේකා

ශ්‍රී ලංකාව පිළිබඳ පවත්වනු ලබන ජාත්‍යන්තර පරීක්ෂණයක දී සාක්ෂි ලබා දෙන මෙන් ඉල්ලා සිටිය හොත් ඊට මුහුණ දීමට තමන් සුදානම් බව හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.

හිටපු යුද හමුදාපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ මේ බව පැවසුවේ නඩු විභාගයක් සඳහා අද බ්‍රහස්පතින්දා කොළඹ මහාධිකරණයට පැමිණ සිටි අවස්ථාවේ දීය.

ජනරාල් සරත් ෆොන්සේකා කියා සිටියේ ජාත්‍යන්තර පරීක්ෂකයින්ට ශ්‍රී ලංකාව තුලට ඇතුළු වීමට අවසර නොදෙන බවට රජය විසින් කර ඇති ප්‍රකාශය අනුමත නොකරන බවයි.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ යුද්ධය සිදු කර තිබෙන්නේ ජාත්‍යන්තර නීතියට අනුකුලව වන අතර යුද හමුදාව නීති විරෝධී ලෙස ක්‍රියා නොකළ බවයි.

“සුදු කොඩි අරන් ආපු අයට වෙඩි තියන්න කියල අපි නියෝග කරලා නැහැ.” සරත් ෆොන්සේකා කියා සිටියි.

ජාත්‍යන්තර පරීක්ෂණයක දී සාක්ෂි දීම සඳහා ආරාධනා ලැබුනොත් ඊට සහභාගී වනවාදැයි සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හිටපු හමුදාපති වරයා කියා සිටියේ එවැනි පරීක්ෂණයකට තමන් බිය නොවන බවයි.

නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා තමන් ඕනෑම අධිකරණයක් හමුවට යාමට සුදානම් බව ප්‍රකාශ කළ ජනරාල්වරයා ජාත්‍යන්තර පරීක්ෂණ වෙනුවෙන් සාක්ෂි දීම වැලැක්වීම සඳහා පුද්ගලයින් බිය ගැන්වීමේ යෙදී සිටින බවට රජයට චෝදනා කළේය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බවත් එම තත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ජාත්‍යන්තර අවධානය යොමු විය යුතු බවයි.