ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩුව සහ උතුරු පළාත් සභාව අතර විවාදයක්

Image copyright AFP

උතුරු පළාත් මහ ඇමති සී.වී විග්නේශ්වරන්ට ඉන්දියාවේ අගමැතිවරයා හමු වීමට අවශ්‍ය නම් ඔහු ඒ සඳහා රජයෙන් අවසර ලබා ගත යුතු බව රජය පවසයි.

දෙමළ ජාතික සන්ධානය පසුගිය දා ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවූ අතර ඉන් පසු උතුරු පළාත් මහ ඇමතිවරයා හා ඉන්දීය අගමැතිවරයා අතර හමුවක් ඉදිරියේදී පැවැත්වෙනු ඇති බවයි දෙමළ ජාතික සන්ධානය පවසන්නේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව නිල තනතුරක් හොබවන පුද්ගලයෙක් යම් රාජතාන්ත්‍රික චාරිකාවක යෙදීමට පෙර රජයෙන් අවසර ගැනීම අනිවාර්ය බවයි.

'දැනුම් දීමක් අවශ්‍යයි'

"දැනුම් නුදුන්නොත් කරන්නේ මොනවාද කියලා ව්‍යවස්ථාවේ බලන්න අවශ්‍යයි, ඇමතිවරයෙක් යනවා නම් මහ ඇමතිවරයාට දැනුම් දිය යුතුයි, මහ ඇමතිවරයා යනවා නම් ආණ්ඩුකාරවරයාට දැනුම් දිය යුතුයි, දැනුම්දීමක් කියන්නේ අවසර ගැනීමක් තමයි" කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඉන්දියාවේ අගමැතිවරයා හමුවීමට උතුරේ මහ ඇමතිවරයාට අවසර ලබා දෙන්නේ දැයි විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ එවන් ඉල්ලීමක් ලැබුණු අවස්ථාවකදී ඒ පිළිබඳ තීරණය කරන බවයි.

දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අගමැතිවරයා හමුවීම පිළිබඳ රජයට කිසිදු ප්‍රශ්නයක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා ඉන්දීය නව අගමැතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය පිළිබඳ රජයට පැහැදිලි විශ්වාසයක් ඇති බවයි පැවසුවේ.

පසුගිය දා ඉන්දීය අගමැතිවරයා හා දෙමළ ජාතික සන්ධානය අතර පැවති සාකච්ඡා වලදී රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා ආරම්භ කිරීමේ වැදගත්කම ගැන අවධානය යොමු වූ බව වාර්තා විය.

එලෙස ද්වී පාර්ශවීය සාකච්ඡා සඳහා රජය මැලි කමක් දක්වන්නේ දැයි සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දෙමළ සන්ධානය සමග ද්වී පාර්ශවීය සාකච්ඡා පැවැත්වුවත් දහතුන් වන සංශෝධනය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ එයට ඇතුළත් නොවන අතර ඒ සම්බන්ධ තීරණ ගැනීමේ කාර්යය පැවරෙන්නේ තේරීම් කාරක සභාවට බවයි.

උතුරු පළාත් සභාවේ කටයුතු නිසා උතුරු පළාතේ සංවර්ධනය සම්පුර්ණයෙන් කඩා වැටී ඇති බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ.

"පළාත් සභාව නොතිබුණු කාලයේ ඒ පලාතේ තිබුණු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අද අඩපණ වෙලා තියෙනවා, ආණ්ඩුව දුන් සල්ලි වලින් 10% වත් භාවිතා කර නැහැ, ඒකෙන් පැහැදිලි වෙනවා ඔවුන්ට අවශ්‍ය දේශපාලන වශයෙන් මහා කඩාකප්පල්කාරී තත්වයක් ඇති කිරීම බව" ඇමති වරයා පවසයි.

'ප්‍රතික්ෂේප කරනවා'

ආණ්ඩුවේ මෙම චෝදනාව උතුරේ මහ ඇමතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඔහු පවසන්නේ ආණ්ඩුව ප්‍රකාශ කරන පරිදි පළාත් සභාවට මුදල් ලබා දී නොමැති අතර අනුමත කර තිබෙන මුදල් ලබාගැනීමටත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය අවශ්‍ය බවයි.

එහෙත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උතුරේ මහ ඇමතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි.

" සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා, ආණ්ඩුකාරවරයාගේ ප්‍රශ්නය පළාතේ සංවර්ධනයට සම්බන්ධ කර ගැනීම ඉතා අසාධාරණයි, එතුමා කියන්නේ ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ප්‍රමාද වෙනවා වගේ දේවල්නේ, එහෙම පසුබිමක් එන්නේ ඒ දෙදෙනා අතර තිබෙන අනවබෝධයෙන්" ඇමති වරයා කියා සිටියි.

පළාත් සභාවෙන් කිසිදු ප්‍රයෝජනයක් ජනතාවට සිදු නොවේ නම් එය විසුරුවා හැරීමට ආණ්ඩුව කටයුතු කරනවාද යනුවෙන් මාධ්‍යවේදියෙකු විමසු විට අමාත්‍ය වරයා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල තමන්ගේ කැමැත්තට රජයට කටයුතු කළ නොහැකි අතර පළාත් සභාවක් විසිරු වීමට නම් මහ ඇමතිවරයාගේ ඉල්ලීමක් අවශ්‍ය බවයි.