ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඌව මැතිවරණයේ කඩු සරඹ

ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු කඩුවක් වැනි අවියක් රැගෙන මොනරාගල මූලික රෝහල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණ ආකාරය බ්‍රහස්පතින්දා කැබිනට් මාධ්‍ය හමුවේදීත් සාකච්ඡාවට ගනු ලැබුණි.

අවියක් අතින් ගත් ප්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා රෝහල දෙසට ඇවිද යන අතරවාරයේ ඔහු කලහකාරී ආකාරයට හැසිරෙන බවයි, සිද්ධිය සටහන් රූප රාමු මගින් පෙන්නුම් කෙරෙන්නේ.

කැබිනට් මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදීන් මේ කාරණය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට ඉදිරිපත් කළ විට ඇමතිවරයා කියා සිටියේ, ඌව පළාතේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වෙන බවට චෝදනා එල්ල වෙමින් පැවතීම රහසක් නොවන බවයි.

‘මේ ප්‍රචණ්ඩ ක්‍රියා එක පැත්තකින් සිදු වෙන දෙයකුත් නොවෙයි. ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වැඩි වශයෙන් යම් යම් තැන්වල සිදු වෙනවා. එවැනි තත්වයක් යටතේ පොලිසිය සහ නීතිය ක්‍රියාවට නංවන ආයතන ඊට මැදිහත් විය යුතුව තිබෙනවා’ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

රජයේ මැදිහත් වීම

පොලිසිය සහ අදාළ ආයතන අවශ්‍ය පියවර ගනු නොලබන්නේ නම් මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීමක් අනුව ඉදිරි පියවර ගැනීමට රජය බැඳී සිටින බවත් ඇමතිවරයා පවසයි.

නීතිය ක්‍රියාත්මක නොවේ නම් ගත යුතු තවත් ඉදිරි පියවර ඇති බවයි ඇමතිවරයා කියා සිටින්නේ.

මොනරාගල සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී කැෆේ මැතිවරණ නිරීක්ෂක ආයතනයේ අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්, එම සිද්ධිය පමණක් නොව ඌව පළාත් සභා මැතිවරණයේ දී වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළේය.

‘කැෆේ’ නිරීක්ෂකයන්

‘බදුල්ල දිස්ත්‍රික්කයට සාපේක්ෂව ගත් විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් වාර්තා වී තිබෙනවා. ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ අතර ගැටුම් වලට අමතරව එකම පක්ෂයේ කණ්ඩායම් අතර සිදුව ඇති ගැටුම් සීමිත සංඛ්‍යාවක් ද වාර්තා වෙනවා’ කැෆේ මැතිවරණ නිරීක්ෂකයා පවසයි.

එහෙත් මොනරාගල දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් නීතිය සහ සාමය රැකීමට අවශ්‍ය පියවර නොගන්නා බවයි, මැතිවරණ නිරීක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන්ගේ චෝදනාව වන්නේ.

මොනරාගල කලාපයෙහි මැතිවරණ පහර දීම් තිස් පහකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් ඔහු කියා සිටියි.