අරසු කච්චි සභාපති පදවිය සේනාධිරජාට

Image caption දෙමළ ජාතික සන්ධානයේ නායකයා තවදුරටත් ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ම යැයි ද ප්‍රකාශ කෙරිණි

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව සභාපතිවරයා වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සෙනසුරාදා දහවල් පත්කොට තිබේ.

මෙතෙක් එම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරණ ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එහි නායක ආර්.සම්බන්ධන්ය.

මාවෙයි සේනාධිරාජා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නව සභාපතිවරයා පමණක් බව ද දෙමළ ජාතික සන්ධානයේ නායකයා තවදුරටත් ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ම යැයි ද නව තනතුරු පත් කිරීමෙන් පසුව වවුනියාවේ දී ප්‍රකාශ කෙරිණි.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 15 වෙනි ජාතික මහා සම්මේලනය වවුනියාව සංස්කෘතික ශාලවේදී සෙනසුරාදා පැවති අවස්ථාවේ දී මෙම නව පත්වීම් සිදු කෙරුණු අතර එම පක්ෂයේ නව ලේකම්වරයා වශයෙන් පත්ව ඇත්තේ මඩකලපුවේ ඊ. තුරේසිංහම් නැමැත්තායි.

මීට අමතරව පක්ෂයේ තවත් තනතුරු ගණනාවක් සදහා ද නව නිලධාරීන් රැසක් ම තේරී පත් වී ඇත.

නව සභාපතිවරයා වශයෙන් පත් වූ මාවෙයි සේනාධිරාජා කියා සිටියේ තමන් මෙම තනතුරට පත් වූවත් එය අතරමග දී වෙනස් නොවුණත් ස්ථිර වන්නේ ඉරිදා වවුනියාවේ දී ම පැවැත්වෙන පක්ෂ සම්මේලනයේ දී බවයි.

කෙසේ වෙතත් දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් තමන් ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරණ අතර පක්ෂය වෙනුවෙන් කැප වන බව ද ඔහු කියා සිටියේය.

ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේ තමන් දැඩි අසනීපයෙන් පසුවීමත්, වයෝවෘද්ධ භාවය නිසා හටගෙන ඇති වෙහෙසකාරී තත්ත්වයත් නිසා පක්ෂයට නව සභාපතිවරයෙකු අවශ්‍ය බවයි.

සියලු දෙනාගේ ම ඉල්ලීම මත තමන් දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන්නේ ද ඉතා අසීරුවෙන් බව ද ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර