ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජවිපෙන් පොලිසියට අභියෝගයක්

ජනතා විමුක්ති පෙරමුණට අයත් අනවසර පක්ෂ කාර්යාලයක් වේ නම් එය හෙළි කරන ලෙස පක්ෂ නායක අනුර කුමාර දිසානායක පොලිසියට අභියෝග කරයි.

ඔහු මේ බව කියා සිටියේ, අනවසර පක්ෂ කාර්යාල පවත්වාගෙන යාම නිසා ඌව පළාතේ මැතිවරණ ගැටුම් වලට ඉඩ සැලසී ඇති බවට පොලිස් ප්‍රකාශකවරයා කර තිබූ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

Image caption 'නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට පොලිස්පතිවරයාට හැකියාවක් නැහැ'

‘පොලිසියේ කාර්යභාරය තමයි එම පළාතේ සැබෑ සිදුවීම් සැබෑ ලෙස වාර්තා කිරීම සහ සැබෑ පරීක්ෂණ සිදු කර අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම. ඒ කිසිවක් නොකොට මාධ්‍ය හරහා මෙවැනි ප්‍රබන්ධ ගොඩ නැගීම පිළිබඳව බෙහෙවින් කනගාටු වෙනවා.’ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

සම්පුර්ණ සාකච්ඡාව සහිත හඬ පටයට සවන් දෙන්න.

මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ මැතිවරණ ගැටුම් වලට අදාලව ආණ්ඩු පක්ෂයේ ආධාර කරුවන් 18 දෙනෙකු ඇතුළු තිස් දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිස්පති

බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තවදුරටත් කියා සිටියේ ඌව පළාතේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට පොලිස්පතිවරයාට හැකියාවක් නැති බවයි.

‘ආණ්ඩුව මැතිවරණයක් වෙනුවට මැරවරණයක් ඉල්ලන්නේ නම් තම පක්ෂය ඒ සඳහා වුවද සුදානම්’ බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පසුගිය දා මැතිවරණ රැළියක දී ප්‍රකාශ කර තිබුණි.

මෙය තවත් භීෂණයක අනතුරු ඇඟවීමක් දැයි බීබීසීය ප්‍රශ්න කළ විට එය ප්‍රතික්ෂේප කරමින් අනුර කුමාර දිසානායක කියා සිටියේ සාධාරණ මැතිවරණයක් ලබා දීමට මැතිවරණ කොමසාරිස්වරයාට හෝ පොලිස්පතිවරයාට නොහැකි බව ප්‍රකාශ කරන්නේ නම් ඒ සඳහා සියලු සිවිල් සංවිධාන රැස් කර එම අයිතිය ලබා ගැනීමට උද්ඝෝෂණය කිරීම තම අරමුණ බවයි.

හඬ පටයට සවන් දෙන්න.