කොන්දේසි සහිතව සාකච්ඡාවලට සූදානම් : ටීඑන්ඒ

Image caption 'සති හයක් ඇතුලත සාකච්ඡා අවසන් විය යුතුයි'

උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවීම පිණිස ඕනෑම අවස්ථාවක රජය සමග සාකච්ඡා කිරීමට සූදානම් නමුත් එම සාකච්ඡා සති හයක් ඇතුළත අවසන් විය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

වවුනියාවේදී බීබීසීය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව කියා සිටි සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා, රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා අතරමඟ නතර වූයේ රජයේ වුවමනාවට මිස තමන්ගේ වරදක් මත නොවන බව කියා සිටියේය.

සාකච්ඡා යළි ආරම්භ වන්නේ නම් එම සාකච්ඡා විනිවිදභාවයකින් සහ ලෝකයට පිළිගත හැකි ජාත්‍යන්තර මට්ටමේ නියෝජිතයෙකුගේ අධීක්ෂණය මත පැවැත්විය යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

'ජනාධිපතිට පුළුවන්'

දෙමළ ජාතික සන්ධානය රැවටීමට හෝ තමන් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කරන්නේ යැයි ලෝකයට හුවා දැක්වීමේ අටියෙන් රජය එම සාකච්ඡා ආරම්භ නොකළයුතු යැයිද සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

උතුරු නැගෙනහිර ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් දෙමළ සංවිධාන වසර හැටක්ම විවිධ රජයන් සමග සාකච්ඡා පවත්වා ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකිව තිබියදී රජය පැවැත්වීමට යෝජිත සාකච්ඡාවල ප්‍රගතිය සති හයකින් අපේක්ෂා කරන්නේ කෙසේදැයි විමසූ විට සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ, එසේ ප්‍රගතියක් දැක්වීමට වත්මන් ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බවයි.

වසර දහයක්ම ජනාධිපති ධූරය හොබවන ජනාධිපතිවරයාට සර්ව පාක්ෂික සම්මේලන පැවැත්වීම වැනි හේතූන් මත උතුරු නැගෙනහිර අර්බුදය පිළිබඳව පුලුල් අවබෝධයක් තිබෙන බැවින් ඔහුට එය ඉතා පහසු කරුණක් බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර