සතුරුකොන්දාන් ඝාතන අනුස්මරණ තහනම්

මඩකලපුව නගරය ආසන්නයේ පිහිටි සතුරුකොන්දාන් ප්‍රදේශයේ සිටි දෙමළ වැසියන් ඝාතනය වී වසර විසි හතරක් පිරීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබූ අනුස්මරණ උත්සවයක් අධිකරණය තහනම් කළේය.

පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ අනුස්මරණ කටයුතු නිසා සාමයට බාධා වන බවයි.

එක්දහස් නවසීය අනූනවය වසරේදී කොටි සංවිධානය හා රජය අතර යුද්ධය නැවත ආරම්භ වූ අවස්ථාවේ සතුරුකොන්දාන්, කොකුවිල්, පනිච්ච්යදී යන ගම්මානවල සිටි දරුවන් හා කාන්තාවන් ඇතුළු එක සිය අසූහතර දෙනෙකු මරා දමණු ලැබිණි.

එම වසරේ සැප්තැම්බර් නව වන දින හමුදාව විසින් මෙම පිරිස බෝයිස් ටවුන් ලෙස හැදින් වූ හමුදා කඳවුරට ගෙන යාමෙන් පසු ඔවුන් අතුරුදහන් වූ බව ඥාතීහු පවසන අතර හමුදාව එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවත් ශාන්තී සෙල්වදොරේ සංදේශයට පැවසුවාය.

ඝාතනය වූ පුද්ගලයන් සිහි කිරීම පිණිස පිහිටුවා ඇති ස්මාරකය අබියස පහන් දල්වා සිදු කිරීමට නියමිතව තිබූ අනුස්මරණ කටයුතුවලට මේ වසරේදී බාධා එල්ල වීම සම්බන්ධයෙන් ඥාතීහු කනගාටුව පළ කර සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර