ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රූපලාවණ්‍යයට යොමුවීමේ 'අඩුවක් නෑ'

රිජ්වේ ආර්යා රෝහලේ පලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ සේවය කළ වෛද්‍ය ප්‍රියංගි, වෛද්‍ය නිමල් ගමගේ වෙත පැමිණ තිබුණේ රූපලාවණ්‍ය කටයුත්තක් ඉටු කර ගැනීම සඳහායි.

දෑස් යට පවතින කළු ස්වභාවය ඉවත් කිරීම සඳහා උදරයේ ඇති මේද ස්ථරයෙන් කොටසක් ගෙන දෑස් යට තැන්පත් කර ගැනීම ඇයගේ අවශ්‍යතාවය වූ බව මිය ගිය වෛද්‍යවරියගේ සැමියා, ගාමිණී චන්ද්‍රසේකර පැවසුවේය.

බම්බලපිටියේ විශාකා පාරේ පිහිටි සායනය පවත්වා ගෙන ගිය වෛද්‍ය නිමල් ගමගේ එම්බීබීඑස් සුසුදුකම් ලත් වෛද්‍යවරයෙක් බව සෞඛ්‍ය බලධාරීන් පැවසූහ.

බම්බලපිටියේ පිහිටි සායනය තුළ රූපලාවණ්‍ය කටයුතුවලට අදාළ ක්‍රියා රැසක් සිදු කර ඇති බවද බලධාරීහු, සංදේශය වෙනුවෙන් ඒ පිළිබඳව සොයා බැලූ ප්‍රමිලා වීරසිංහ සමඟ කියා සිටියාය.

‘ඇත්තටම මම හිතන්නේ නැහැ විලාසිතා වලින් වැළකී සිටිය යුතුයි කියලා. ලෝකය දිවුණු වෙනවාත් සමග ඒ වගේ අවස්ථා එනවා. ඒ පිළිබඳ වෘත්තීය සුදුසුකම් තියන අවශ්‍ය පහසුකම් තියන තැනකට යනවා නම් මම එකේ වරදක් දකින්නේ නැහැ’ යනුවෙන් මිය ගිය වෛද්‍යවරියගේ සැමියා කියා සිටියේය.

'ව්‍යාජ වෛද්‍යවරු 40,000ක්'

‘සාමාන්‍යයෙන්, මුදලින් වැඩි දේවල් වලට යන්නේ නැහැ. නමුත් අදාළ රූපලාවණ්‍යගාරය පරිහරණය කරන අයගෙන් තොරතුරු අරන් ඒ තැනට යොමු වෙන්නේ. මම දැකපු පලියට ඒ වගේ තැනකට යන්නේ නැහැ.’ යනුවෙන් රූපලාවණ්‍ය සේවාදායකයෙක් පැවසුවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චන්දික එපිටකඩුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රය තුළ ඇති ගැට‍ළු සහගත ස්ථාන නිරාකරණය කර ගැනීම වැදගත් බවයි.

විශේෂඥ වෛද්‍ය නාමාවලියක් නොමැති වීම සහ විශේෂඥ වෛද්‍යවරයා යනු කවරෙක්ද යන්න පිළිබඳ නියමිත නිර්වචනයක් නොමැති වීමද ක්ෂේත්‍රය තුළ පවතින විශාල අඩුපාඩුවක් බව මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චන්දික එපිටකඩුව කියා සිටියි.

‘ලංකාවේ දැනට අපි හිතනවා හතලිස්දාහකට ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ වෛද්‍යවරු වශයෙන් කටයුතු කරන පුද්ගලයෝ පිරිසක් ඉන්නවා. ළඟදී කරපු සමීක්ෂණයකින් අපි සොයා ගනු ලැබුවා දහදාස් හත්සීයකට ආසන්න ප්‍රමාණයක් පැහැදිලිවම ඉන්නවා කියලා.’ යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේය.

මේ අතර රූපලාවණ්‍ය ශිල්පිනී දනුෂි ප්‍රේමරත්න පවසන්නේ රූපලාවණ්‍ය යනු සැත්කම්වලින් තොර සම මතුපිට කෙරෙන සත්කාරයක් බවයි.

'සැත්කම් නෑ'

‘හිස කෙස් සහ සම පිළිබඳ ඔහුගේ හෝ ඇයගේ සමට බාහිරින් කරන ප්‍රතිකාරය අපට නිර්වචනය කරන්න පුළුවන් රූපලාවණ්‍ය කියලා. නමුත් බොහෝ දෙනෙක් පසු ගිය දවස් වල වෛද්‍යවරියට සිදු වුණු දේ මුල් කර ගෙන එය රූපලාවණ්‍ය හා සම්බන්ධ කර ගෙන වැරදි ප්‍රචාරණයක් ලබා දෙනවා. මේක ඇත්තටම වැරදියි.’ යැයි රූපලාවණ්‍ය ශිල්පිනී දනුෂි ප්‍රේමරත්න පැවසුවාය.

රූපලාවණ්‍ය ශිල්පීන් එසේ පැවසුවත් රූපලාවණ්‍යගාර තුළ අවශ්‍ය පහසුකම් වලින් තොරව එම කටයුතු සිදු කෙරෙන බවටයි ප්ලාස්ටික් ශල්‍යවෛද්‍ය සංගමය චෝදනා කරන්නේ.

‘මහල් නිවාසයක එක් නිවාසයක්. එහෙම තැනක ශල්‍යකර්මයක් කරන්න සුදුසු නැහැ. හදිසි අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඒවගේ වේලාවකදී හදිසි ප්‍රතිකාර දෙන්න කිසිම සැලැස්මක් තිබුණේ නැහැ’ යනුවෙන් ප්ලාස්ටික් ශල්‍යවෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය රොමේෂ් ගුණසේකර කියා සිටියේය.

මෙම රූපලාවණ්‍යගාරයට යන බොහෝ දෙනා රටේ ප්‍රසිද්ධ පුද්ගලයන් බව පැවසූ වරෙක විවාහක විශ්ව රූ රැජිණ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක කියා සිටින්නේ මෙවැනි සිදුවීම් විවිධ ක්ෂේත්‍රයන්හි විවිධ අවස්ථාවල සිදු වන බැවින් එක් සිදුවීමක් පමණක් මුල් කර ගනිමින් නිගමන වලට ඒමට නොහැකි බවයි.

මෙවැනි ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තා වූවත් රූපලාවණ්‍ය කෙරෙහි යොමු වීම අඩුවක් නැති බව ප්‍රමිලා වීරසිංහ වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක පැවසුවේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර ඇති බවයි.