ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොලිසියේදී බිම දමා ගෙන පහර දුන්නා - පියා

පොලිස් පහර දීමකින් මියගිය බව සැක කෙරෙන තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

පොලිස් පහර දීම් සහ රජයේ නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් කන්දකැටිය ප්‍රදේශයේ විසූ සඳුන් මාලිංග නමැති තරුණයාගේ මරණය සිදු වූ බවට ඔහුගේ ඥාතීහු චෝදනා කරති.

ඒ පිළිබඳ මරණයට පත් තරුණයාගේ පියා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේ.

මියගිය පුද්ගලයා පිළිබඳ සියලු වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරු බදුල්ල රජයේ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියාට නියමකළහ.

පෙත්සම්කරු පවසන්නේ සිය දාහත් හැවිරිදි පුතු පසුගිය මැයි මාසයේදී නිදන් හෑරු බවට චෝදනා කරමින් කන්දකැටිය පොලිසිය ඔහු අත් අඩංගුවට ගත් බවයි.

විනාඩි හතළිස් පහක්

සිය පුතු කිසිදු අපරාධයකට සම්බන්ධ නොමැති බව පවසන මරණයට පත් මාලිංගගේ පියා පීඑච් රංජිත්, තම පුතුට පොලිසිය අමානුෂික අන්දමින් පහර දීම නිසා ඔහු මරණයට පත් වූ බව කියා සියියේය.

‘පොලිසියේදී පුතා මට කිව්වා බිම දමා ගෙන පහර දුන්නා කියා. විනාඩි හතළිස් පහක් පමණ පහර දුන් බව කියා සිටියා. අපි පුතාව රෝහලට රැගෙන යන මෙන් පොලිසියෙන් ඉල්ලා සිටියා. එහෙත් ඔවුන් එය කළේ නැහැ.’ යනුවෙන් පියා පොලිසියට චෝදනා කළේය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේ බන්ධනාගාර නිලධාරීන්ගේ සහ කන්දකැටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම මරණය සිදු වූ බවයි.