ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එන්ජීඕ ගෝඨාභය හමුවට

රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ පිරිසක් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමු වී බදාදා සාකච්ඡාවක් පැවැත් වූහ.

වර්තමානයේ රාජ්‍ය නොවන සංවිධානවලට තම කටයුතු කර ගෙන යාමේදී මුහුණ දීමට සිදු වී ඇති ගැට‍ළු සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා හා ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ බවයි එම අවස්ථාවට එක්ව සිටි ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ ආචාර්ය ජෙහාන් පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ.

ඊට අමතරව රජයේ මාධ්‍ය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවට සහභාගී වූ සංවිධානවල සාමාජිකයෝ කරුණු කියා සිටි බවත් ආචාර්ය ජෙහාන් පෙරේරා කියා සිටියේය.

රාජ්‍ය නොවන සංවිධානවලට මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට නොහැකි බව පවසමින් ආරක්ෂක ලේකම්වරයා යටතේ ඇති රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය මෑතකදී නිවේදනයක් නිකුත් කර තිබුණි.

සුභවාදී සලකුණක්

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය දැන ගැනීම ඉහත කී සාකච්ඡාවේ තවත් අරමුණක් වූ බව ආචාර්ය ජෙහාන් පෙරේරා සංදේශයට පැවසුවේය.

ආණ්ඩුව හා රාජ්‍ය නොවන සංවිධාන අතර ඇති සම්බන්ධකම් වර්ධනය කිරීමට මෙම සාකච්ඡාව මුල් වනු ඇති බවට ඔහු බලාපොරොත්තු පළ කර සිටියි.

‘මේ සංවිධානවලට අයිතියක් තියනවා ජාත්‍යන්තරයත් එක්ක කතා කරන්න, ගණුදෙනු කරන්න.ඒ එක්කම ලේකම්වරයා කියා සිටියා ඇයි අපි එක්ක, ආණ්ඩුව එක්ක වැඩ කරන්නේ නැත්තේ කියලා’ යනුවෙන් ආරක්ෂක ලේකම්වරයා ප්‍රශ්න කළ බවයි ආචාර්ය ජෙහාන් පෙරේරා කියා සිටියේ.

රාජ්‍ය නොවන සංවිධානවලට රජයේ මාධ්‍ය ඇතුළු අනෙකුත් දේශපාලන නායකයන්ගෙන් නිතරම අපවාද එල්ල වන බව කියා සිටි ආචාර්ය ජෙහාන් පෙරේරා එවැනි වාතාවරණයක් තුළ පැවැත් වූ මෙම සාකච්ඡාව සුභවාදී සලකුණක් ලෙස දකින බව කියා සිටියේය.

මීට අමතරව ශ්‍රී ලංකාව තුළ බලය විමධ්‍යගත කිරීම, අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් හා පාරිසරික ගැට‍ළු පිළිබඳවද ආරක්ෂක ලේකම්වරයා අදහස් දක්වා සිටි බවයි ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ ආචාර්ය ජෙහාන් පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ.