යුද හමුදාව ආරක්ෂාවටද?බිය ගැන්වීමටද? - විග්නේශ්වරන්

Image copyright AFP

උතුරු පලාතේ විවිධ ප්‍රදේශවල සැරිසරණ යුද හමුදා කණ්ඩායම් කීපයක් එහි සිටින සාමාන්‍ය‍ය වැසියන්ගේ තොරතුරු ලබා ගනිමින් ඡායාරූප ගැනීම නිසා මහජනතාව බියට පත්ව සිටින බව පවසන උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් වහාම එය නතර කළ යුතුව ඇතැයි කියා සිටියි.

මුලතිව් පළාතේ පැවති මහජන හමුවක දී එම ප්‍රකාශය කළ මහ ඇමතිවරයා සඳහන් කළේ එසේ කරන්නේ ජනතාවගේ ආරක්ෂාවටද එසේ නැතහොත් ජනතාව බිය වැද්දීමටදැයි යන්න ප්‍රශ්නයක් වී ඇති බවයි.

කෙසේ නමුත් උතුරේ ජනතාවට යුද හමුදාවෙන් දැන් ආරක්ෂාවක් අවශ්‍ය නොකරන බව පෙන්වා දෙන මහ ඇමති සී.වී. විග්නේශ්වරන්,පළාතේ මහජනතාව ආරක්ෂා විය යුත්තේ යුද හමුදාවෙන් බවයි කියා සිටියේ.

ඊපීඩීපී සහයෝගය

යුද හමුදාව විසින් සිදු කරනු ලබන ඉහත කී වැඩ පිළිවෙලට ඊ.පී.ඩී.පී.සංවිධානයේ ද සහයෝගය ලැබී ඇති බවයි මහ ඇමති සී.වී. විග්නේශ්වරන් පවසන්නේ.

උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා විසින් නගනු ලබන ඉහත කී චෝදනා සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් බීබීසී සංදේශය විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, උතුරු පළාතේ කිසිම ස්ථානයක යුද හමුදාව විසින් උතුරු පළාතේ කිසිම ස්ථානයක එවැනි වැඩ පිලිවෙළක් ආරම්භ කොට නොමැති බවයි.

උතුරේ වැසියන්ගේ ඉල්ලීම මත ඔවුන්ට අවශ්‍ය සියලු සහන සලසා දීම සහ ආරක්ෂාව සැපයීම යුද හමුදාව විසින් සිදු කරණ බවයි බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය තවදුරටත් කියා සිටියේ.

ඊ.පී.ඩී.පී.සංවිධානය සමග හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් සමග යුද හමුදාව සම්බන්ධකම් නො පවත්වන බවත් බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය අවධාරණයෙන් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර