'ඡන්ද වැඩ මැද්දේ පාප් වහන්සේ පැමිණීම සුදුසු නැහැ'

Image caption ඡන්ද ප්‍රචාරක වැඩ මැද්දේ පාප් වහන්සේ පැමිණීම සුදුසු නැහැ -කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ

පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන කාල වකවානුවේ කිසිදු මැතිවරණ කටයුත්තක් නොපවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසති.

ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය නිලවශයෙන් ප‍්‍රකාශයට පත් කරමින් කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවේදීයි කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මේ බව බිබිසියට කියා සිටියේ.

ලබන වසරේ ජනවාරි 13 හා 14 යන දිනවල පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව අද නිල වශයෙන් නිවේදනය කෙරුණි.

අති උතුම් ප‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය දේශපාලන මෙවලමක් ලෙස යොදා නොගන්නා ලෙස කතෝලික අගරදගුරු මණ්ඩලය රජයේ හා විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් අද ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරණය

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ගමන නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන මාධ්‍ය හමුවේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙම අදහස් පළ කලේ ලබන වසර මුල හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට ආණ්ඩුව සුදානම් වන බවට පල වන මාධ්‍ය වාර්තා පිළිබඳව බිබිසිය කල විමසුමකට පිළිතුරු දෙමින්.

"ජන්ද ප්‍රචාරක කටයුතු මැද්දේ පාප් වහන්සේගේ පැමිණීම සුදුසු නැහැ කියලා අපි රජයට දැනුම් දීලා තියෙනවා, දින වකවානු තීරණය කරන්න ඕනේ රජය, අපි හිතනවා අපේ අදහස සලකා බලාවි කියල මේ වගේ දෙයක් තීරණය කරද්දී, දැනට ඡන්දය තියෙනවද නැත්ද කවදද, ඒ කිසි දෙයක් අපට දැනුම්දීලා නැහැ, අපි පැහැදිලිවම ජනාධිපතිවරයාට කියලා තියෙනවා ඡන්ද ප්‍රචාරක වැඩ මැද්දේ පාප් වහන්සේ පැමිණීම සුදුසු නැහැ කියලා" කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසුහ.

එළඹෙන ජනවාරි මස 13 වන දින ශ්‍රී ලංකාවට පැමිණෙන ශුද්ධෝත්තම පළමු වැනි ෆ්‍රැන්සිස්‌ පාප් වහන්සේ කටුනායක ගුවන් තොටුපල සිට විවෘත රථයක නංවා කොළඹට රැගෙන ඒමට නියමිතයි.

ජනාධිපතිවරයා මුණ ගැසෙන පාප් වහන්සේ ඉන් අනතුරුව කොළඹදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු ඇතුළු සියලුම ආගමික පූජකවරුන් හමුවීමට සැලසුම් කර ඇති බවයි අගරදගුරු හිමිපාණන් පැවසුවේ.

පසුව ඊට පසු දින උදෑසන ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගාලු මුවදොර පිටියේදී ‘දිව්‍ය පූජා යාගය’ පැවැත්වීමට කටයුතු කරන බවද අගරදගුරු හිමිපාණන් කියා සිටියි.

එදිනම සවස මඩු දේවස්ථානය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ජනවාරි මස 15වන දින පාප් වහන්සේ නැවත ශ්‍රී ලංකාවෙන් පිටත්ව පිලිපීනය බලා යාමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර