ඔස්කා පිස්ටෝරියස් සාපරාධී මිනිස් ඝාතනයට වැරදිකරු

Image copyright AP
Image caption තොකොශිලේ මසිපා විනිසුරුවරිය

සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් වෙඩි තබා මරා දමනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දකුණු අප්‍රිකානු ආබාධිත ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස්ට එරෙහි තීන්දුව ප්‍රකාශයට පත් කළ අධිකරණය චූදිතයා සාපරාධී මනුෂ්‍ය ඝාතනයට වැරදිකරු වන බව ප්‍රකාශයට කරනු ලැබුණි.

එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීම ඊයේ ආරම්භ කෙරුණ අතර දීර්ඝ නඩු තීන්දුවේ මුල් භාගයේ දී තොකොශිලේ මසිපා විනිසුරුවරිය කියාස් සිටියේ රීවා ස්ටීන්කැම්ප්ට සිතාමතාම වෙඩි තැබූ බවට එල්ල කෙරෙන චෝදනාවට ඔස්කා පිස්ටෝරියස් නිවැරදිකරු වන බවයි.

Image copyright Reuters
Image caption ඔස්කා පිස්ටෝරියස් සහ රීවා ස්ටීන්කැම්ප්

එම චෝදනාව සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වූ බවයි විනිසුරුවරිය කියා සිටියේ.

තවත් වෙඩි තැබීම්

චූදිත ඔස්කා පිස්ටෝරියස් අධිකරණය හමුවේ කියා සිටියේ සිය නිවසට රහසිගතව ඇතුල් වූ පුදගලයකු යයි වරදවා වටහා ගැනීමෙන් තමා එම වෙඩි තැබීම සිදු කළ බවයි.

එහෙත් චූදිතයා සාපරාධී මනුෂ්‍ය ඝාතනයට වරදකරු වන බව අධිකරණය තීන්දු කර ඇති හෙයින් ඔහු වසර පහළොවක සිර දඬුවමකට යටත් කිරීමේ අධිකරණ බලයක් පවතී.

රීවා ස්ටීන්කැම්ප් ඝාතනයට පෙර ආපන ශාලාවක දී සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ද ඔස්කා පිස්ටෝරියස් වරදකරු වන බව තීන්දු කළ තොකොශිලේ මසිපා විනිසුරුවරිය එහෙත් එවැනි තවත් වෙඩි තැබීම් දෙකක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වී තිබුණ චෝදනා වලින් ඔහු නිදහස් කළාය.

නඩු තීන්දුව සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ආරම්භ වී ඇති බවයි දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන්නේ.

ඔස්කා පිස්ටෝරියස් මිනී මැරීමේ චෝදනාවෙන් නිදහස් කරනු ලැබීම සම්බන්ධයෙන් අසතුට පළ කරන කණ්ඩායම් කියා සිටින්නේ චූදිතයා සුදු ජාතිකයකු නොවී කළු ජාතිකයකු වීනම් නඩු තීන්දුව වෙනස් එකක් විය හැකි බවයි.

සමාජ කතිකාවක්

රිය අනතුරකින් පාසල් ළමුන් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලද කළු ජාතික සංගීතඥයකු මිනී මැරීමේ චෝදනා වලට වරදකරු කරනු ලැබ විසිපස් වසරක සිර දඬුවමකට යටත් කරනු ලැබුන අතර ඔස්කා පිස්ටෝරියස් මිනී මැරීමේ චෝදනාවෙන් නිදහස් කෙරුනේ කෙලෙසද යන්නයි ඇතැම් කණ්ඩායම්වල ප්‍රශ්නය වී තිබෙන්නේ.

මේ අතර ඔස්කා පිස්ටෝරියස් ඇප මත මුදා හරිනු ලැබුණි.

අනියම් මිනීමැරුම සම්බන්ධයෙන් වරදකරු වූ ඔහුට දඬුවම් නියම කිරීමට නියම වී තිබෙන්නේ ලබන මාසයේ.

නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ රීවා රීවා ස්ටීන්කැම්ප්ගේ මව කියා සිටියේ සිය දියණියට යුක්තිය ඉටු නොවූ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර