ඌව මැතිවරණය: පොලිස්පති 'පොරොන්දුව කඩලා'

Image copyright CAFFE
Image caption එජාප රැස්වීමක් සංවිධානය කළ පුද්ගලයකුගේ ත්‍රීරෝද රථයට පහර දී ගිනි තැබීමට උත්සාහ දරා තිබේ

ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට කටයුතු කරන බවට පොලිස්පතිවරයා ප්‍රතිඥා දීමෙන් අනතුරුවත් දිගටම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

සිකුරාදා උදෑසන සහ බ්‍රහස්පතින්දා රාත්‍රියේ මොණරාගල සහ හාලිඇල දී විරුද්ධ පක්ෂ ක්‍රියාධරයන්ට එරෙහිව තවත් ප්‍රහාර එල්ල වී තිබෙන බව, කැෆේ සංවිධානය හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් සංදේශයට කියා සිටියේය.

හාලිඇලදී එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් සංවිධානය කළ පුද්ගලයකුගේ ත්‍රීරෝද රථයට පහර දී ගිනි තැබීමට සූදානම් වූ අවස්ථාවේ අසල්වාසීන් ගේ විරෝධය හමුවේ පලා ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ පවතින තත්වය මැතිවරණ කොමසාරිස්වරයා සිය සංචාරයෙන් අනතුරුව හොඳින් වටහාගෙන සිටින බව පවසන රජිත් කීර්ති තෙන්නකෝන්, එහෙත් පොලිස්පතිවරයාගේ පොරොන්දුවෙන් පසුවත් ජනතා විමුක්ති පෙරමුණේ තවත් කාර්යාල දෙකකට පහර දී තිබෙන බව සංදේශයට පැවසීය.

'සාපේක්ෂ අඩුවක්'

කෙසේ නමුත් සාපේක්ෂ වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් දක්නට ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.

"තවමත් ගරාජ් අසංක සහිත වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා නීති විරෝධීව යොදා ගන්න තත්වයක් තියෙනව. මේවා පාලනය වීම ඉතාමත් සෙමින් සිදුවන්නේ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

එමතු නොව පොලිස් මාර්ග බාධක නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම පිණිස සිය නිලධාරීන් යෙදවීමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදු වී තිබෙන බවද කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

"මොකද මේ පහරදීම් සියල්ලම එකම රටාවකට, එකම කණ්ඩායමක් විසින් සිදු කරන බව ඉතාමත් පැහැදිලිව පේනවා," යනුවෙන්ද රජිත් කීර්ති තෙන්නකෝන් සංදේශයට පැවසීය.

ප්‍රචණ්ඩ ක්‍රියා හැරුණු විට මැතිවරණය සඳහා මහජන දේපොළ සහ රාජ්‍ය සම්පත් යොදා ගැනීමේ අඩුවක් නොමැති බවත් මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර