ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඌවේ අපේක්ෂාව: බඩු මිල අඩු හෙටක්

ඌන සංවර්ධිත පළාතක් ලෙස සැලකෙන එම පළාතේ ජනයා මුහුණ දී ඇති ගැටලු, සැප්තැම්බර් විසි වන දින පැවැත්වීමට නියමිත ඌව පළාත් මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨයක්.

වතුකරයේ ජීවත් වන සැලකිය යුතු පිරිසක්ද පළාත් සභා මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිති.

"සංවර්ධනය සංවර්ධනය කිව්වට අගට දැනෙන්න කිසිම සංවර්ධනයක් නැහැ. අත පය දිග හැරලා වියදම් කරන්න මිනිස්සු අතේ සල්ලි නැහැ," යනුවෙන් වතුකරයේ සමාජ ක්‍රියාකාරියකු වන තිරුපති බීබීසී සංදේශයට පැවසීය.

"මිනිස්සුන්ගේ ආර්ථිකේ ටිකක් වැඩි වෙන්න ඕනි. පාරවල් හැදුනට කම නැහැ. ඒකත් එක්ක මිනිස්සුන්ගේ ආර්ථිකේ ටිකක් සරු වෙන්නත් ඕනි," යනුවෙන්ද ඔහු සඳහන් කළේ මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා සමඟ අදහස් දක්වමින්.

Image copyright AFP
Image caption වතු කම්කරුවන්ගේ ගැටළු ඌව මැතිවරණයේ එක් ප්‍රධාන මාතෘකාවක්

ලංකා කම්කරු කොංග්‍රසය, කඳුරට ජනතා පෙරමුණ හා කම්කරු ජාතික සංගමය ඌව පළාත් මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන අතර, එක්සත් ජාතික පක්ෂයද මැතිවරණය සඳහා ප්‍රබල අපේක්ෂකයින් ඉදිරිපත් කර තිබේ.

භාණ්ඩ මිල වතුකරයේ ජනතාවගේ ඡන්දය භාවිත කිරීමේදී දැඩි ලෙස බලපානු ඇති බව පවසන ආර් මොහාන්, වතුකරයේ ජනතාවගේ අපේක්ෂාව බඩු මිල අඩු හෙට දවසක් බවද සංදේශයට පැවසීය.

බඩු මිල අඩු හෙටක්

"බඩු මිල ප්‍රශ්නයක් තියනවනේ. ඒක තමයි වැඩිපුර බලන්නේ. වතුකරයේ ජනතාව සියයට හැටක් විතර වියදම් කරන්නේ කෑමට. කුළී වැඩ කරන්නේ මිනිස්සු. ඇඟ වෙහෙසලා වැඩ කරන්නේ," යනුවෙන්ද ආර් මොහාන් පැවසුවේය.

මොනරාගල ඇතිමලේ ප්‍රදේශයේ ගුරුවරයකු වන ප්‍රදීප් මේ අතර පවසන්නේ, පසුගිය ඌව පළාත් පාලන සමය තුළ මධ්‍යම රජයේද සහයෝගය ඇතිව යම් කිසි සංවර්ධනයක් සිදු වී ඇති බව පැවසුවේය.

නමුත් පළාතේ ගොවි ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම පිණිස මෙවර පැවැත්වෙන මැතිවරණය පිවිසුමක් කර ගත යුතු බව ඔහුගේ අදහසයි.

"මිනිස්සුන්ගේ යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් සංවර්ධනය වෙමින් තියනවා. මාර්ග පද්ධතිය හොඳයි. පාසල් උනත් ගුණාත්මක මට්ටමකින් ඉහළ යනවා. ඒ උනාට සියට හැටක් හැත්තෑවක් ගොවීන් ඉන්න කොට මේ ගොවීන්ගේ පැත්තෙන් සංවර්ධනයක් තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. මොකද පහුගිය කාලේ යුද්ධය නිසා එහෙම දේවල් සිදු වුණා අඩුයි," යනුවෙන් ගුරුවරයකු වන ප්‍රදීප් වැඩිදුරටත් පැවසීය.

බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවෙන් ඉහලම ප්‍රදේශයක් ලෙස සැලකේ.

දරිද්‍රතාවය

රිදීමාලියද්දේ වෙසෙන බණ්ඩාර පවසන්නේ එම ප්‍රදේශයේ ජනතාවට මෙවර මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ අභිලාෂයක් නොමැති බවයි.

"ඉල්ලීමක් නැහැ මිනිස්සුන්ගේ අහවල් දේ අපිට දෙන්න කියලා. යම් දෙයක් කරලා තියනවනේ. ඒ දේ තුළ ඒ මතයේ ඉන්නවා."

මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතා අපේක්ෂාවන් පිළිබඳ අදහස් දක්වමින් වෘත්තියෙන් රියදුරෙකු වන චමිල රත්නායක කියා සිටියේ ප්‍රදේශයේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

"ගමට වැඩක් කරයි කියන දේ තමයි බලාපොරොත්තු වෙන්නේ වැඩිපුරම. දැන් ගොඩාක් වෙන්නේ හම්බෙන කොටස් වලින් වැඩි කොටසක් කොන්ත්‍රාත්කරුවෝ හූරන් කනවා. හාල් මිල එහෙම මිනිස්සුන්ට අමාරුයි. මොකද වැස්ස නැති නිසා ගොඩාක් ඇයගේ කුඹුරු පාලු උනා," යනුවෙන් ඔහු පැවසුවේය.

මෙවර අර්තාපල් අස්වැන්න නෙළීමේ යෙදී සිටින බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් බහුතරයක් වන ගොවීන් සිය අස්වැන්න සඳහා වෙළඳපොළේ ලැබෙන මිල ගණන් සම්බන්ධයෙන් විමසිලිමත් වෙමින්සිටිති.

අර්තාපල්

කෘෂිකාර්මික නිෂ්පාදන සහනදායී මිලකට ලබා ගැනීම සඳහා විධිමත් සාධාරණ ක්‍රමවේදයක් ගොවීන්ට නැති බව බදුල්ල ප්‍රදේශයේ අර්තාපල් ගොවියකු වන චන්ද්‍රසිරි කියා සිටියේය.

Image caption 'සහතික මිලට කොහේද අලෙවි වෙන්නේ?'

"උපදේශන සේවාව උනත් ඒ තරම් සාර්ථක මට්ටමෙන් නැහැ. ඊළඟට නිෂ්පාදන අලවියේදී ප්‍රශ්න එනවා. මේ දවස්වල අල මිලදී ගැනීමේදී ප්‍රශ්න තියනවා," යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

අර්තාපල් ගොවීන්ට මුහුණ දීමට සිදු වී ඇති ගැටළු ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ විවේචනයට ලක් වී ඇති නමුත් අර්තාපල් සඳහා රජය සහතික මිලක් නියම කර ඇති බවයි ආණ්ඩුව පවසන්නේ.

"අල වලට සහතික මිලක් තියනවා කියලා ආණ්ඩුව කියනවා. ඒ සහතික මිල යටතේ කොහෙද අලවි වෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ," යනුවෙන් අර්තාපල් ගොවියකු වන චන්ද්‍රසිරි මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා සමඟ පැවසීය.

ඌව පළාතට අයත් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කයන් දෙකෙහි ලක්ෂ නවයකට ආසන්න ඡන්ද දායකයෝ පිරිසක් මෙවර පළාත් සභා මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.