ජනාධිපති මැතිවරණ නීති කඩනවා - ජවිපෙ

කොතරම් රාජ්‍ය බලය පාවිච්චි කළත් ඌව පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුවට නිශ්චිත බහුතර බලයක් දිනා ගැනීමට නොහැකි වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ සඳුදා කොළඹ පැවැත්වුන මාධ්‍ය හමුවකදී.

“එක්සත් ජනතා නිදහස් සන්ධානයට පළාත් සභාව තුළ තනියම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය පැහැදිලි බලයක් නො ලැබීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ දී සන්ධානය ලොකු අර්බුදයකට යනවා” ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක දී සුසිල් ප්‍රේම ජයන්ත් ඇමතිවරයා, ජනතා විමුක්ති පෙරමුණ විසින් අතීතයේ අවුළුවන ලද භීෂණ මැතිවරණ ඉතිහාසය සම්බන්ධයෙන් යළි සිහිපත් කිරීමක් කළේය.

1989 භීෂණය

“1989 ජනාධිපතිවරණයේ දී එදා පැවති රජය සහ ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය භීෂණය අපි දැක්කා. ජනතාවට හැඳුනුම්පත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මහජනයා ගේ හැඳුනුම්පත් එකතු කර ගෙන ගිහින්. මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද පොළවල් හතළිස් දෙකක ඡන්ද නො පවත්වායි එදා භීෂණ ජනාධිපතිවරණයේ ප්‍රතිපල නිකුත් කළේ” සුසිල් ප්‍රේම ජයන්ත් ඇමතිවරයා පැවසීය.

මේ අතර සිය මාධ්‍ය හමුවේ දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටුයේ ඌව පළාත් සභා මැතිවරණය මෙහෙයවනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් වන බවයි.

“මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පමණක් නොව මැතිවරණ නීති කඩ කිරීමේ ව්‍යාපාරයේත් පෙරමුණේ සිටින්නේ ජනාධිපතිවරයා වන බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා කියා සිටින්නේ.

ජනාධිපතිවරණයක් ද?

අද ඌවේ පවතින්නේ පළාත් සභා මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් වැනි ඡන්දයක් බවයි ඔහු සඳහන් කරන්නේ.

“මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවති හමුවේ දී මැතිවරණ නීති ආරක්ෂා කිරීමට පොලිස්පතිවරයා පොරොන්දු වුනත් මොනරාගල දිස්ත්‍රික්කයේ නීති විරෝධී කටයුතු දිගින් දිගටම සිදු වෙනවා. ඒවායේ කෙළවරක් නැහැ.” ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දෙයි.

එක්සත් ජනතා සන්ධාන මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ තරුණ කටයුතු භාර ඇමති ඩලස් අලහප්පෙරුම එක්සත් ජාතික පක්ෂයේ නව සමගිය පිළිබඳව ප්‍රශ්න කිරීමක් කළේය.

‘එක්සත් ජාතික පක්ෂය දෙදරා යාමකට ලක් වී ඇති බවයි’ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර