වතුකරයේ පනස් දාහකට 'ඡන්දයට නිවාඩු නැහැ'

කොළඹ රැකියා කරන ඌව පළාතේ වතුකර දෙමළ තරුණ තරුණියන් පනස් දාහකට පමණ සැප්තැම්බර් විසි වන දා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක් මතු වී ඇති බව වතුකරයේ සංවිධානයක් කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් බීබීසී සංදේශයට අදහස් දැක්වූ සෞම්‍ය සරණ සංසදයේ සභාපති එච් පී අන්තොනිමුත්තු පැවසුවේ අදාළ ඡන්දදායකයින්ට මැතිවරණය පැවැත්වෙන දිනයේ නීත්‍යනුකූලව නිවාඩු ලබා ගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

නමුත් කොළඹ රැකියා කරන පිරිස්වලට බදුල්ලට ළඟා වීම සඳහා පැය අටක් පමණ ගත වන හෙයින් ඇතැම් ආයතන හිමිකරුවෝ නිවාඩු ලබා දීමට අකමැත්තක් දක්වන බවයි ඔහු පවසන්නේ.

හෝටල්, වෙළඳසැල් හා ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ නියුතු බොහොමයක් වතුකරයේ දෙමළ තරුණ තරුණියන්ට නැවත කොළඹ බලා ඒමට දින කිහිපයක් ගත වන නිසා සේවකයන් අඩු කමින් එම ආයතන වසා දැමීමට සිදු වන තත්වයක් පවතින බවද එච් පී අන්තොනිමුත්තු කියා සිටියේය.

සෞම්‍ය සරණ සංසදයේ සභාපතිවරයා, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හමු වී මතු වී තිබෙන තත්වය පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර