ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නියඟයෙන් බැටකන යාල වන සතුන්

ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ බොහෝ පළාත් මුහුණ දී ඇති දැඩි ඉඩෝරය මහජනයාට පමණක් නොව වන ජීවීන් කෙරෙහි ද ඉතා විනාශකාරී බලපෑමක් එල්ල කොට ඇති බව එම පළාත්වලින් ලැබෙන වාර්තා මගින් ප්‍රකාශ වෙයි.

ඌව දකුණ සහ නැගෙනහිර යන පළාත් තුනට මායිම් වෙන යාල අභය භූමිය නියඟය නිසා පීඩා විඳින වනෝද්‍යානයකි.

යාල අභය භූමියේ වන සතුන් නියඟය හමුවේ ආහාර සහ ජලය නැතිව ජීවිත තර්ජනයකට මුහුණ පා ඇති ආකාරය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමේ දී පෙනී ගිය කාරණයකි.

මේ වසරේ නියං තත්වය පසුගිය වසර වලට වඩා දරුණු බව යාල අභය භූමියේ නිලධාරීන් ගේ අත්දැකීමයි.

අභය භූමියේ දක්නට පැවති තුරුලතා මිලිනව හරිත පරිසරය වියැකී ගිය තත්ත්වයකුයි අද පවතින්නේ.

අභයභූමියේ පොකුණු දිය කඩිති සිඳී රොන්මඩ මතුව ඇති ආකාරය එහි ලඟා වූවකුට දැක ගත හැක.

එම පරිසරය යටතේ දිය කඩිති ආශ්‍රිතව ජීවත් වූ ඌරන් සහ කුළු මීමුන් ජලය සහ ආහාර සොයමින් ඉබාගාතේ ඇවිදිනු පෙනෙයි.

ඒ අතර සත්ව මල සිරුරු ද තැනින් තැන දැක ගත හැකිය.

කුමන අභය භූමියත්

යාල වන සත්ව ජීවිතය සහමුලින්ම කණපිට පෙරලුන තත්ත්වයකුයි දැන් එහි පවතින්නේ.

යාල වනෝද්‍යානයේ කලාප අංක එක සහ දෙක ප්‍රදේශ වලට පමණක් නොව ඊට යාබද කුමන වනෝද්‍යානයටත් නියඟය බල පා ඇත.

වන උයන මැදින් ගලා ගිය මැණික් ගඟ සහ කුඹුක්කන් ඔය සිඳී ගොස් ඇත.

එවැනි පරිසරයක් පැවතුනත් වන සතුන් නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ගේ අඩුවක් නො වීම විශේෂත්වයකි.

එහෙත් එහි යන සංචාරකයන්ට දැන් දක්නට ලැබෙන්නේ ආහාර නැති කමින් කෘශ වී ගිය අලි ඇතුන් මුව පොව්වන් සහ කුළු මීමුන් වැනි සත්ව ගහනයකි.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ‘බවුසර්’ මගින් අභය භූමියේ පොකුණු වලට ජලය පුරවමින් ජීවීන්ගේ තිබහ නිවීමට උත්සාහ ගන්නා ආකාරයක් ද දක්නට ලැබෙයි.

පොකුණු සහ දිය කඩිති ආදියට ජලය ගෙන ඒමට අලුතින් එලා ඇති නල මාර්ගය තුලින් ජලය ගලා යන බව තේරුම් ගත වන සතුන් ඒවා කඩා දිය බීමට උත්සාහ කර ඇති අවස්ථාවන් ද වාර්තා වෙයි.

මේ අතර සතුන්ට ආහාර වශයෙන් කොළ අතු සහ පානයට ජලය පුරවා ගත් වාහනවලින් අභය භූමිය කරා යන වන සත්වලෝලීන් ද දක්නට ලැබෙයි.