රජයට පාලනය කළ නොහැකි සහල් මිල

රජය මගින් සහල් අලෙවි කිරීමට පාලන මිලක් නියම කොට ඇතත් එම මිල ගණන් වලට රජයේ හෝ පෞද්ගලික වෙළෙඳසැල් වලින් සහල් මිලට ගත නොහැකි බවට පාරිභෝගිකයෝ රජයට චෝදනා කරති.

වෙළඳ හා සමුපකාර අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක කියා සිටියේ සහල් සඳහා පාලන මිලක් නියම කරණ ලද්දේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම පිණිස බවයි.

අධික සහල් මිල ගණන්

ඒ අනුව සම්බා සහල් කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් හැත්තෑ හතක් බව ප්‍රකාශ කළ ඔහු සුදු නාඩු කිලෝවක් රුපියල් හැට අටකටද, රතු නාඩු ඇතුළු සියලුම කැකුළු සහල් රුපියල් හැට හයකට අලෙවි කළ යුතු බවද පැවසුවේය.

නමුත් පාරිභෝගිකයින් පවසන්නේ මේ දිනවල වෙළඳ පොලේ දී සාමාන්‍ය සම්බා කිලෝවක මිල රුපියල් අසූ හතත් අසූ නමයත් අතර මිලක් වන බවයි.

සෙසු කැකුළු සහල් වල මිල ගණන් කිලෝවක් රුපියල් අසූ පහක් දක්වා ඉහල ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

සුපිරි වෙළෙඳසැල් වල මිල ගණන් මීට වඩා වැඩි බවද, එම වෙළඳසැල් වල විවිධ නම්වලින් අලෙවි කරණ සම්බා වල මිල ගණන් ඇතැම් විට රුපියල් දෙසීයක් තරම් වන බවත් පාරිභෝගිකයෝ පවසති.

වෙළෙන්දන්ගේ තර්කය

සහල් අලෙවි කරණු ලබන වෙළෙන්දන් කීප දෙනෙකුගෙන්ම මේ පිළිබදව කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ සහල් මිල ගණන් තීරණය කිරීම සහල් මෝල් හිමියන් විසින් සිදු කරණ බැවින් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

මෝල් හිමියන් තමන්ට අඩු මිලට සහල් තොග ලබා දෙන්නේ නම් තමන්ට රජය විසින් පනවා ඇති පාලන මිලට සහල් අලෙවි කළ හැකි බව සහල් වෙළෙන්දන්ගේ තර්කයයි.

පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකිණීම නිසා මේ වන විට උතුරු පළාතේ වෙළෙන්දන් තුන්සීයකට වැඩි පිරිසක් මිල පාලන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති අතර ඊට වඩා විශාල පිරිසකට අවවාද කොට තිබේ.

අධිකරණය විසින් එක් වෙළෙන්දෙකුට සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාව මත රුපියල් පන්දහසක දඩයක් නියම කළ බව පවසන සහල් වෙළෙන්දන් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුත්තේ වෙළෙන්දන් නොව සහල් මෝල් හිමියන් බවයි ප්‍රකාශ කළේ.

රජයේ නීතිරීති

නමුත් වෙළඳ සහ සමුපකාර අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා කියා සිටියේ රජයේ නීතිරීති වලට අනුව වැටලීම් වලදී අත් අඩංගුවට ගනු ලබන්නේ පාලන මිලට වඩා වැඩියෙන් සහල් සිල්ලරයට අලෙවි කරන පුද්ගලයින් පමණක් බවයි.

ඒ අනුව සහල් මෝල් හිමියන් අත් අඩංගුවට ගැනීමට හැකියාවක් හෝ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු පැවසුවේ.

කෙසේ වෙතත් පාරිභෝගිකයින්ට සහන මිලට සහල් ලබා දීම පිණිස රජය මගින් සතොස වෙළෙඳසැල් හරහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇතැයිද ලේකම්වරයා පැවසුවේය.

නමුත් පාරිභෝගිකයින් කියා සිටින්නේ රජය විසින් නියම කරණ ලද පාලන මිලට සහල් ලබා ගැනීමට රජයේ වෙළෙඳ සැල් වලින්ද නොහැකි බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර