ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලන්ඩනය ධර්මපාලතුමා සමරයි

නූතන ථෙරවාද බුදු සමය ලොව පුරා ප්‍රචලිත කිරීමේ පුරෝගාමියා අනගාරික ධර්මපාල තුමා වන බව ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියෝ පවසති.

උන්වහන්සේ එම ප්‍රකාශය කළේ , අනගාරික ධර්මපාල තුමාගේ 150 ස් වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් බීබීසී සිංහල අංශය සමඟ එම ජන්ම දිනය යෙදෙන සැප්තැම්බර් 17 වෙනි දින පැවැත් වූ විශේෂ සාකච්ඡාවක දී.

යටත් විජිත පාලන සමයේ බෞද්ධ සමාජ සාරධර්ම පිරිහී ඒ මත බිහි වෙමින් තිබුණ අනුකාරකවාදී සමාජයක් තුළ උපත ලද ධර්මපාල තුමා ඊට එරෙහිව නගන ලද හඬ පසුකාලීන ශ්‍රී ලංකාවේ නිදහස් මතවාදයට පදනම් වූ බවත් බෝගොඩ සීලවිමල හිමියෝ පෙන්වා දෙති.

යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ දියත් කෙරුණ පුනරුද ව්‍යාපාරයේ නියමුවා වන අනගාරික ධර්මපාල තුමා දේශීය මට්ටමින් සිංහල බෞද්ධ සාරධර්ම සහ බෞද්ධ අධ්‍යාපනය නංවාලීමට පියවර ගන්නා අතරවාරයේ ථෙරවාද බුදු සමය ලෝකයේ මහාද්වීප තුනක ප්‍රචලිත කිරීමට නායකත්වය දුන් බවයි, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් ප්‍රකාශ කරන්නේ.

ධර්මපාල තුමා මහාබෝධි සමාගම ආරම්භ කරමින් ආසියාවේ යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ ථෙරවාද බෞද්ධ විහාර ආරම්භ කිරීමට පදනම සකස් කළ බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

පුනරුදයේ නියමුවා

ථෙරවාද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අතර මුල් තැන හිමි කර ගනු ලබන ලන්ඩන් බෞද්ධ විහාරය 1926 වසරේ දී ආරම්භ කරන ලද්දේ අනගාරික ධර්මපාල තුමන් විසිනි.

ධර්මපාල ජන්ම දිනය යෙදෙන සැප්තැම්බර් 17 වෙනි දින ඇතුළත් වන පරිදි ලන්ඩන් බෞද්ධ විහාරය ධර්මපාල සතියක් ප්‍රකාශයට පත් කරමින් විශේෂ උත්සව මාලාවක් සංවිධානය කරනු ලැබ ඇත.

ලන්ඩන් බෞද්ධ විහාරස්ථ දහම් පාසල් ශිෂ්‍යයන් ධර්මපාල චරිතය තේමා කර ගත නාට්‍යයක් රඟ දැක් වූ අතර ධර්මපාල ජීවිතයේ වැදගත් අවස්ථා නිරූපණය කෙරෙන සිතුවම් ප්‍රදර්ශනයක් ද එම වැඩ සටහනට ඇතුළත් විය.

ධර්මපාල පුනරුද ව්‍යාපාරය සමඟ බිහි වූ ආනන්ද නාලන්ද මහින්ද ධර්මරාජ විශාකා සහ මියුසියස් ආදී පාසල්වල ඉගෙනුම ලැබ එක්සත් රාජධානියේ දිවි ගෙවන එම පාසල්වල ආදි ශිෂ්‍යයන් මෙම උත්සව මාලාවේ විශේෂ පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කරන ලද බවයි, බෝගොඩ සීලවිමල හිමියන් බීබීසියට කියා සිටියේ.

සතියක් පුරා පැවැත්වෙන ධර්මපාල සමරු උත්සව මාලාවේ උත්කර්ෂවත් අවස්ථාව වන්නේ සැප්තැම්බර් විසි වෙනි දින ‘හැමර්ස්මිත්’ නගර ශාලාවේ පැවැත්වෙන මහා සභා රැස්වීමයි.