ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විල්පත්තු වන උයනින් අක්කර 900 පවරා ගෙන

  • 2014 සැප්තැම්බර් 18

ශ්‍රී ලංකා නාවික හමුදාව විල්පත්තු ජාතික වන ගැබ හරහා පාරක් කැපීම ගැන වරක් මාධ්‍යයේ අවධානය යොමු විය.

දැන් පරිසරවේදීන් කියා සිටින්නේ සංචාරක කර්මාන්තය සඳහා නාවික හමුදාව විල්පත්තු ජාතික වන උයනින් අක්කර 900 ක් නීතියට පටහැණිව පවරා ගෙන වැඩ ආරම්භ කර ඇති බවයි.

ත‍්‍රස්ත තර්ජන

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් එම ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන භූමිය ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් අඩි 9ක් පමණ උස පස් බැම්මක් ඉදි කරණ බවත් පරිසර සංරක්ෂණ භාරය ප්‍රකාශ කරයි.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත තර්ජන පැවති සමයේ දී හෝ මෙවන් අවශ්‍යතාවයක් මතුව නොතිබූ තත්ත්වයක් තුළ අද වන විට නාවික හමුදාව මෙලෙස විශාල වනාන්තර ප‍්‍රදේශයක් ආවරණය කරමින් පස් බැම්මක් ඉදි කරන්නේ කුමක් සඳහා ද යන්න පරිසර සංරක්ෂණ භාරය විමසා සිටියි.

තමන්ට ලැබී ඇති තොරතුරු අනුව සංචාරක ව්‍යාපෘතියක් සඳහා මෙසේ නීති විරෝධී ලෙස ඉඩම් අත්පත්කර ගැනීම සිදු කෙරෙන බවට තහවුරු වන බවයි පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්‍ෂ සජීව චාමිකර සංදේශයට පැවසුවේ.