ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

ඌව පළාත් සභා මැතිවරණය බොහෝදුරට සාමකාමී එකක් ලෙස පැවැත්වුණු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරයි.

යම් යම් ප්‍රදේශවල සාහසික ක්‍රියා සිදුවී ඇති බවට වාර්තාවී තිබෙන බව පවසන මැතිවරණ කොමසාරිස් වරයා එයින් මැතිවරණයට බලපෑමක් සිදුවී ඇත්ත යන්න සොයා බලන බව මාධ්‍යයට ප්‍රකාශ කළේය.

ඡන්ද ගණන් කිරීම ආරම්භවී ඇති අතර හෙට අලුයම් කාලයේදී පළමු ඡන්ද ප්‍රතිඵලය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් වරයා පැවසුවේය.

ගැටුම්කාරී තත්වයක්

ඌව පළාත්සභා මැතිවරණයේ ඡන්ද වීමසීම් කටයුතු සිදුවෙමින් පවතින අතර උදේ 10.30 ට පමණ බණ්ඩාරවෙල නගරයේ ගැටුම්කාරී තත්වයක් හට ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ආධාර කරුවකුට ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු එම ආධාර කරුවා ද රැගෙන 10.45 පමණ බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරි බණ්ඩාරවෙල පොලීසියට පැමිණිලි කිරීමට ගිය පසු පොලීසිය තුළ දී වූ සිදුවීමක් බවයි පැවසෙන්නේ.

ඒ වන විට බණ්ඩාරවෙල නගරයට ගොස් සිටි බී බී සී යේ ප්‍රසාද් පුර්නිමාල් පවසන ආකාරයට පොලීසියට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් බණ්ඩාරවෙල නගරාධිපතිවරයාට පොලීසිය තුළදී ම පහර දී ඇති බවටයි එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් චෝදනා කරන්නේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලද නගරාධිපතිවරයා දියතලාව රෝහලට ඇතුළත්කර ඇති අතර පසුව බදුල්ල රෝහලට යවනු ලැබූ බවයි ප්‍රසාද් පුර්නිමාල් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රී වරයා අප වාර්තාකරු සමග ප්‍රකාශ කර තිබුණේ තමන් ද පැමිණිල්ලක් කිරීම සඳහා පොලීසියට ගිය අවස්ථාවේ 200 ත් 300 ත් අතර ප්‍රමාණයක එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් පිරිසක් පැමිණ තමන්ට පහරදුන් බවයි.

මේ සියල්ල සිදුවුයේ පොලිස් නිලධාරීන් බලා සිටියදී පොලීසිය තුලදී බවයි පැවසෙන්නේ.

මොනරාගල ගැටුම් නැහැ

මොනරාගල දිස්ත්‍රික්කයේ මැතිවරණ තොරතුරු බීබීසී සංදේශයට වාර්තා කරන වසන්ත චන්ද්‍රපාල පවසන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ මෙන් බරපතළ සිද්ධීන් සවස් භාගය වන තෙක් ම මොනරාගලින් වාර්තා වී නැති බවයි.

සවස් භාගය වන විට මොනරාගල ඡන්දදායක සහභාගිත්වය 62% ක මට්ටමක වූ බව නිවේදනය කර ඇති බවත් එම සහභාගිත්වය 65% ක් තෙක් ඉහල යනු ඇතැයි මැතිවරණ නිලධාරීන් පවසන බවත් වසන්ත චන්ද්‍රපාල වාර්තා කරයි.

උදේ වරුවේ මොනරාගල ඡන්දදායක සහභාගිත්වය මන්දගාමී මුහුණුවරක් ගත් බවත් බීබීසී සංදේශය ප්‍රාදේශීය වාර්තාකරු පවසයි.