මුලතිව් ඉඩම් විවාදය දිග්ගැසෙන ලකුණු

  • 2014 සැප්තැම්බර් 22

මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර හයසීයකට ආසන්න ප්‍රමාණයක් යුද හමුදාවට අත්පත් කර ගැනීමේ සුදානමක් ඇති බව පවසමින් ඊට විරෝධය පළ කර සඳුදා පුදුකුඩීඉරිප්පු නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මන්ත්‍රීවරු සහ පළාත් සභා මන්ත්‍රීවරු, ස්වේච්ඡා සංවිධාන ක්‍රියාධරයෝ මෙන්ම සාමාන්‍ය වැසියෝ මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලින්ගම් කියා සිටියේ යුද හමුදාව එක් පළාතක අක්කර 614ක් හා තවත් පළාතක අක්කර 40ක් ආරක්ෂක කටයුතු වෙනුවෙන් ලබාගැනීමට තීරණය කරඇති බවයි.

උතුරේ වැසියන් අවුරුදු 40 කට වැඩි කාලයක් බුක්ති විඳි එම ඉඩම් යුද හමුදාවේ ප්‍රයෝජනයට ලබා ගැනීම අසාධාරණ ක්‍රියාවක් බැවින් ඊට එරෙහිව මෙම උද්ඝෝෂණය සහ පෙළපාලිය දියත් කළ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

අභූත චෝදනා

මේ සම්බන්ධයෙන් සන්දේශය යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් විමසූ විට ඔහු කියා සිටියේ යුද හමුදාව විසින් කිසිදු ඉඩමක් අලුතෙන් අත්පත් කරගෙන නොමැති බවයි.

දැනට තිබෙන හමුදා කඳවුරු පමණක් ක්‍රියාත්මක වන බව කී හමුදා ප්‍රකාශකවරයා කිසිදු ස්ථානයක අලුතෙන් හමුදා කඳවුරු පිහිටුවා නොමැති බව අවධාරණය කළේය.

උතුරේ වැසියන්ට අයත් කුඹුරු ඉඩම් අක්කර 250 කට වැඩි ප්‍රමාණයක් පසුගිය සතියේදී අයිතිකරුවන්ට බාර දීමට යුද හමුදාව ක්‍රියාකර තිබියදී මේ ආකාරයට යුද හමුදාවට අභූත චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

පුදුකුඩීඉරිප්පු පළාතේ පැවති උද්ඝෝෂණයට එම පළාතේ වැසියන් කිසිවෙකුත් සහභාගි නොවූ බව කී බ්‍රිගේඩියර්වරයා පිට පළාතක වැසියන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා ආධාර සපයා දෙන බවට පොරොන්දු වී ඔවුන් මෙම පෙළපාලියට සහභාගි කරවාගෙන ඇතැයි වැඩි දුරටත් පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර