තිස්ස පක්ෂය විනාශ කිරීමේ 'කුමන්ත්‍රණයක'

ආරක්ෂක ලේකම්වරයා සහ පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් සමඟ එක්ව පක්ෂයේ ඉදිරි ගමන විනාශ කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බවට එක්සත් භික්ෂු පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට චෝදනා කරයි.

Image copyright news1st

පක්ෂ නායකයා සහ මහලේකම්වරයා ඇතුළු පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී තමන් මෙම චෝදනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පක්ෂයේ නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට මහලේකම්වරයා හදිසියේම තීරණය කොට ඇති බව එක්සත් භික්ෂු පෙරමුණේ නායක ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ බීබීසී සංදේශයට පැවසූහ.

තමන් වහන්සේ එම චෝදනාව එල්ල කළ අවස්ථාවේ එය සත්‍යයක් නොවන බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය තමන් වහන්සේ පිළිගත් බවද උන්වහන්සේ පැවසූහ.

"ඉතින් ඒ නිසා එතුමාට අස්වෙන්න දෙයක් නෑ. මගේ එහෙම සම්බන්ධයක් නෑ කියල එතුමා කිවුව නම් අපි පිළිගන්නවා ඒක. එහෙම එතුමා අස්වෙනවා නම් ඒකෙන් හැඟෙන්නේ ඒක සත්‍යයි කියල බවයි මට හිතෙන්නේ," යනුවෙන්ද එහිමියෝ සඳහන් කළහ.

සජිත් ප්‍රේමදාස

විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පක්ෂයේ නියෝජ්‍ය නායක පදවියට පත් කිරීමට ආණ්ඩුව 'විශාල උනන්දුවකින්' කටයුතු කරමින් සිටින අතර, ටිරාන් අලස් මන්ත්‍රීවරයා ඇතුළු මාධ්‍ය ප්‍රධානීන් එයට සහාය දෙන බවයි අනුනායක හිමියන් පවසන්නේ.

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාද එම යෝජනාවට සහාය පළ කොට තිබේ.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට නියෝජ්‍ය නායක පදවිය පිරිනැමීමට තමන් වහන්සේගේ කිසිදු විරෝධයක් නැතත්, කලක් මුළුල්ලේ පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ නොවී ඉවත්ව සිටි බවට එහිමියෝ ප්‍රේමදාස මන්ත්‍රීවරයාට චෝදනා කරති.

"අපේ විරෝධයක් නෑ. එයයි එන්නේ නැත්තේ."

එමෙන්ම භික්ෂූන් වහන්සේලාගේ යෝජනාව මත නිර්මාණය කරන ලද නායකත්ව මණ්ඩලය අහෝසි කරන මෙන් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කරන යෝජනාවට තරයේ විරෝධය පළ කරන බවද ගිරාඹේ ආනන්ද රාමඤඤ නිකායේ අනුනාහිමියෝ සංදේශයට පැවසූහ.

"නායකත්ව මණ්ඩලය නිසා තමයි අද යූඑන්පී එක පණ ගැහිල ඇවිල්ල තියෙන්නේ. ඒක නායකතුමාත් අනුමත කරනවා," යනුවෙන්ද එහිමියෝ සඳහන් කළහ.

'මට ලැජ්ජාවක්'

ගිරාඹේ ආනන්ද හිමියන් ඉදිරිපත් කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා, 'රනිල්, සජිත්, කරු එක වේදිකාවකට ගෙන ඒමට' තමන් දියත් කළ ක්‍රියාදාමය නායකත්ව මණ්ඩලයේ ඇතැමුන්ගේ විවේචනයට ලක් වූ බැවින් එයින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සංදේශයට කියා සිටියේය.

ආරක්ෂක ලේකම්වරයා සමඟ එක්ව ආණ්ඩුවේ න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරන බවට එල්ල වන චෝදනාව පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහුගේ ප්‍රතිචාරය වූයේ, "ඇත්තටම ඒ චෝදනාව මට ලැජ්ජාවක්. මම කාගේවත් කොන්ත්‍රාත්තු කරන්නේ නෑ. ආණ්ඩුවේ කිසිම කෙනෙක් එක්ක මගේ ගනුදෙනුවක් නෑ," යන්නයි.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා නියෝජ්‍ය නායකත්වයට පත්කිරීමට සහාය දෙන නමුත් නායකත්ව මණ්ඩලය අහෝසි කළ යුතු බවක් කිසිවෙකුත් යෝජනා කොට නැති බව පක්ෂයේ මහ ලේකම්වරයා අවධාරණය කරයි.

"එහෙම කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්," යනුවෙන්ද ඔහු පැවසීය.

පක්ෂයේ නායකත්වය පිළිබඳ අර්බුදවලදී තමන් සැමවිටම නායකයා වෙනුවෙන් පෙනී සිටි බව පෙන්වා දෙන තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා, නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වුවත් මහලේකම් පදවියේ දිගටම රැඳී සිටිමින් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන බවද සංදේශයට පැවසීය.

කෙසේ නමුත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සිරස නාලිකාව, මවුබිම පුවත්පත ඇතුළු මාධ්‍ය සමඟ තමන් අදහස් හුවමාරු කරගත් බව රහසක් නොවන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර