ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හාලි ඇළ මාධ්‍යවේදීන්ට එල්ල කළ ප්‍රහාරයට විරෝධය

හාලි ඇළ පොලිස් මුරපොළ අසලදී හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ගමන් ගත් රිය පෙලකට ගල් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ එය වාර්තා කිරීමට ගොස් සිටි මාධ්‍යවේදීන්ට යම් කිසි පිරිසක් විසින් සිදු කළ පහර දීම හෙළා දැක බදුල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීහු විරෝධතාවයක නිරත වූහ.

පහර කෑමට ලක් වූ මාධ්‍යවේදීන්ගෙන් එක් අයකු අතතිබූ කැමරාව පොලේ ගසා ඇති ප්‍රහාරය සිදු කළ පිරිස අනෙක් මාධ්‍යවේදියා පැමිණි රථයටද අලාභ හානි කර තිබේ.

පොලිස් නිලධාරීන් බලා සිටියදී මෙම පහරදීම සිදු කළ බව මාධ්‍යවේදී අතුල ජයලත් සංදේශයට කියා සිටියේය.

ගල් ප්‍රහාරයෙන් හරීන් ප්‍රනාන්දුගේ රිය පෙලෙහි ගමන් ගත් වාහන 3 කට පමණ හානි සිදුවී තිබෙන බවත් කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට මැදිහත් වන ලෙස මොනරාගල දිසාපතිවරයා සහ කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබෙන අතර විපක්ෂයේ දේශපාලනඥයන්ට ආරක්ෂාව සලසන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සවස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.