බුරුම ජාතික විරතු හිමි ශ්‍රී ලංකාවට

Image copyright AFP Getty Images

බොදු බල සේනා සංවිධානයේ ආරාධනයෙන් සංඝ සමුළුවක් සඳහා බුරුම ජාතික අශින් විරතු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය විරෝධය පළ කරයි.

තම සංවිධානයේ විරෝධය ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද බවයි, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ වැඩබලන සභාපති හිල්මි මොහමඩ් බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.

විරතු හිමියන් බුරුමයේ මුස්ලිම් ජන සංහාරයකට මුල් වූ තැනැත්තකු වන හෙයින් ජාතිවාදී හැඟීම් ඉස්මතු වී පවතින මෙවැනි මොහොතක එවැනි හිමි නමක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම රට තුළ නොසංසුන් තත්වයක් මතු වීමට හේතු විය හැකි බවයි, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ වැඩබලන සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

බුරුම මුස්ලිම් සංහාරය

එහෙත් බුරුම ජාතික විරතු හිමියන් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට වරදකරු වී නැති අතර, බෞද්ධ නායකයකු ගේ සංචාරයට එරෙහිව කිසිවකුට වැට බැඳිය නොහැකි බවයි බොදු බල සේනා මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් බීබීසියට ප්‍රකාශ කළේ.

Image caption හිල්මි අහමඩ් සහ ඥානසාර හිමි

සැප්තැම්බර් 28 වෙනි දින පැවැත්වෙන සංඝ සම්මේලනයක් සඳහා බොදු බල සේනා සංවිධානය බුරුමය ද ඇතුළුව රටවල් කීපයක බෞද්ධ සංවිධානවලට ආරාධනා කළ බව සඳහන් කළ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අශින් වීරතු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කළොත් මහත් ඉහළින් පිළිගනු ලබන බවයි කියා සිටියේ.

“විරතු හාමුදුරුවෝ කිසිදු අපරාධ ක්‍රියාවකට වැරදිකරු වී නැහැ. කිසිවකුට උන්වහන්සේ වැනි බෞද්ධ නායකයකුට අවහිර කරන්න බැහැ. කවුරුත් මතක තබා ගත යුතුයි, මේක සිංහල බෞද්ධ රට. අපි උන්වහන්සේ ඉතාම ඉහළින් පිළි ගන්නවා” ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.

බැතියෙන් පිළිගැනීම

එහෙත් බුරුමයේ මුස්ලිම් සංහාරයකට හේතු වූ කුපිතකාරී අදහස් වැපිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන අශින් විරතු හිමියන් බෞද්ධ සාරධර්ම වලට පටහැනි චරිතයක් වන බවයි, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ වැඩබලන සභාපති හිල්මි මොහමඩ් පවසන්නේ.

“ලංකාව බෞද්ධ රටක්. නමුත් විරතු හිමියන් වැනි කෙනෙක් බෞද්ධ නායකයෙක් කියල බෞද්ධයන් වත් පිලි ගනු ඇතැයි මම හිතන්නේ නැහැ. බුදු දහම කියන්නේ කිසිදාක ප්‍රචණ්ඩත්වය අනුමත කරන දහමක් නොවෙයි .බුදු හාමුදුරුවෝ කවදාවත් ප්‍රචණ්ඩත්වය අනුමත කළේ නැහැ” හිස්මි අහමඩ් පවසයි.

අශින් විරතු හිමියන් ‘ෆේස් බුක්’ මගින් සහ සිය ධර්ම දේශනා මගින් පළ කරන මුස්ලිම් විරෝධී අදහස් කුපිතකාරී මතවාදයක් හැටියට බලවත් දෝෂ දර්ශනයකට ලක් වූ අතර බුදු දහම පාවා දුන්නකු හැටියටයි වරක් ‘ටයිම්’ සඟරාව විසින් උන්වහන්සේ නම් කරන ලද්දේ.

‘බුරුමයේ මුස්ලිම් ඝාතකයා’ හැටියටත් උන්වහන්සේ දෝෂ දර්ශනයට ලක් වී ඇත.

එහෙත් උන්වහන්සේ ‘සැබෑ බුද්ධ පුත්‍රයකු’ හැටියට බුරුම ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබ ඇති බවයි, බීබීසී බුරුම සේවයේ සෝ වින් තැන් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර