ගිණුම් තොරතුරු හෙළි කරන්න බෑ - බැංකුව

අධිකරණ නියෝගය පරිදි හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක ඉල්ලා සිටින පරිගණක දත්ත ලබා දීමට හැකියාවක් නොමැති බව ජාතික සංවර්ධන බැංකුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ පරිගණක දත්ත විශේෂ ක්‍රමයකට ගබඩා කර ඇති බව පැවසූ බැංකුවේ නීතිවේදීහු, දත්ත සොයා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් හාර ලක්ෂ හැත්තෑ දෙදහසක පමණ වියදමක් දැරීමට සිදු වන බව සඳහන් කළහ.

එම මුදල ලබා දීමට හිටපු අගවිනිසුරුවරිය සූදානම් නම් ඇය ඉල්ලා සිටින පරිගණක දත්ත සොයා දීමට බැංකුව සුදානම් බවද නීතිවේදීහු අධිකරණය හමුවේ කියා සිටියහ.

එහෙත් එම මුදල ගෙවීමට සිය සේවා දායිකාව සුදානම් නොමැති බව හිටපු අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී යූඑල්ජී බණ්ඩාර ප්‍රකාශ කළේය.

හිටපු අගවිනිසුරුවරියගේ බැංකු ගිණුමේ දත්ත ඇයගේ නීතිවේදින්ට ලබා දෙන මෙන් අධිකරණය පසුගියදා ජාතික සංවර්ධන බැංකුවට නියෝග කළේය. එම නියෝගය ප්‍රකාර සිය විශේෂඥයින් කණ්ඩායමක් බැංකුවට ගිය නමුත් අදාළ දත්ත පරික්ෂා කිරීමට බැංකුව අවසර නොදුන් බව නීතිවේදී බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණයට අපහාස

අධිකරණය කළ නියෝගයට අවනත වීම ප්‍රතික්ෂේප කරමින් දත්ත ලබා නොදීම තුලින් බැංකුව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට හිටපු අගවිනිසුරුවරියගේ නීතිවේදිහු පැමිණිලි කළහ.

මෙම තත්වය හිටපු අගවිනිසුරුවරියට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කිරීමක් බවට චෝදනා කළ එම නීතිවේදීහු අධිකරණයට අපහාස කළ අදාළ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට එරෙහිව නඩු පවරන මෙන්ද මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියහ.

මෙම දත්ත ලබාගැනීමට ඇති ඉඩකඩ පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ පුද්ගලික බැංකු අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂකවරයාගෙන් කරුණු විමසන බව එයට ප්‍රතිචාර වශයෙන් මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

ඒ සඳහා අදාළ අධ්‍යක්ෂකවරයාට නොවැම්බර් මස තුන් වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් ද අධිකරණය නොතීසි නිකුත් කරනු ලැබීය.

අගවිනිසුරු පදවියේ කටයුතු කළ සමයේ නිසි පරිදි වත්කම් රජයට ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින්, ශිරානි බණ්ඩාරනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර