අතුරුදහන්වූවන් වෙනුවෙන් මරණ සහතික හා වන්දි

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් වෙනුවෙන් මරණ සහතික නිකුත් කො ට වන්දි මුදලක් ගෙවීමට රජය ගෙන ඇති තීරණය තමන් විසින් බාර නොගන්නා බව කිළිනොච්චියේ වැසියෝ ප්‍රකාශ කරති.

අතුරුදහන්වූ පුද්ගලයින් පිලිබදව තොරතුරු සොයා බැලීම පිණිස ජනාධිපතිවරයා විසින් පත් කරණ ලද විශේෂ කොමිසම සෙනසුරාදා පෙරවරුවේ කිළිනොච්චියේදී රැස්වූ අවස්ථාවේදී සාක්ෂි දීමට පැමිණි පිරිස එසේ පැවසූහ.

මෙම කොමිසම එහි සභාපති මැක්ස්වල් පරණගමගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චිය මුලංගාවිල් මහා විද්‍යාලයේ රැස් විය.

සැප්තැම්බර් මස 27 හා 28 යන දිනවලදී කොමිසම මුලංගාවිල් මහා විද්‍යාලයේදීත් , 29 සහ 30 යන දිනවලදී කිළිනොච්චියේ පූනකරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත් රැස්වීමට නියමිත අතර මෙවර එම පළාත් වලින් අතුරුදහන්වූ පුද්ගලයින් 250 දෙනකු පිළිබදව සාක්කි විමසා බැලීමට නියමිතයි.

අතුරුදහන්වූවන් වෙනුවෙන් කොමිසමේ නිර්දේශ මත ප්‍රාදේශීය ලේකම් වරුන් මාර්ගයෙන් ඔවුන්ගේ ඥාතීන්ට මරණ සහතික නිකුත් කිරීමට සහ ඉන් පසුව වන්දි මුදල් ගෙවීමටයි රජය තීරණය කොට තිබෙන්නේ.

රජයට නිර්දේශ

බොහෝ දෙනෙකු ඊට විරුද්ධ නිසා ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ගය කුමක්දැයි බී.බී.සී.සංදේශය කළ විමසුමකට පිළිතුරු දෙමින් කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස කියා සිටියේ එවැනි පිරිස් සම්බන්ධයෙන් යළිත් සාක්ෂි විමසීමක් සිදු කොට ඔවුන් අභිමත දෙයක් ලබා දෙන මෙන් රජයට නිර්දේශ කරණ බවයි.

අතුරුදහන් වූවන් වෙනුවෙන් මරණ සහතික ලබාගෙන වන්දි මුදල් ලබාගැනීමට කැමති පිරිසට ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ඒවා ලබාගැනීමට හැකියාව ලැබෙන බවද ලේකම්වරයා කියා සිටියේය.

කොමිසම හමුවේ සාක්කි දීමට කිළිනොච්ච්චියට පැමිණ සිටි වැසියන්ගෙන් විශාල පිරිසක් කියා සිටියේ තම ඥාතීන් පැහැරගෙන ගියේ කවුරුන් විසින්ද යන්න තමන් නොදන්නා බවයි.

යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින්ද එල්.ටී.ටී.ඊ. ය විසින්ද ඥාතීන් පැහැර ගෙන ගිය බව ප්‍රකාශ කල පිරිස් ද මේ අතර වූහ.