මහින්ද සහ මෝදි අතර නිව් යෝක්හිදී හමුවක්

Image copyright news.lk

ශ්‍රී ලාංකික ධීවරයන්ට තහනම් කර ඇති ට්‍රෝලන ක්‍රමවේදය ඉන්දීය ධීවරයන්ට භාවිත කිරීමට ඉඩ දීම උතුරේ ශ්‍රී ලාංකීක ධීවරයින්ට සිදු වන අසාධාරණයක් ලෙස සලකන බව මහින්ද රාජපක්ෂ ඉන්දීය අගමැතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග ඇමරිකාවේ නිව් යෝක් නුවරදී පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටි බවයි ශ්‍රී ලංකා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

‘එය දැන් නීති විරෝධී ක්‍රමයක්. අපි ශ්‍රී ලාංකීය ධීවරයින්ට පතුල ට්‍රෝලනය තහනම් කර තිබෙනවා. එමගින් සාගර පතුලට හා සම්පත්වලට වෙනස් කළ නොහැකි හානි සිදු වෙනවා’ යනුවෙන් පවසා ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා දෙමළ ජාතික සන්ධානය ඉන්දීය නායකයා හමු වී මෑතක දී පැවැත් වූ සාකච්ඡා පිළිබඳ අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනුවත් කරන ලද බව ශ්‍රී ලංකා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව දෙරටේ ද්විපාර්ශ්වීය සම්බන්ධතා කෙරෙහි බලපාන කරුණු රැසක් පිළිබඳ නායක දෙපොළගේ අවධානයට යොමු වූ බවත් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියි.

බෑන් කී මූන්

Image copyright news.lk

මේ අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් අතර නිව් යෝක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු, සෞඛ්‍ය සේවය වැඩි දියුණු කිරීම සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීම හා නැවත සමාජගත කිරීම ද ඇතුළු පශ්චාත් යුද වාතාවරණය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැනුවත් කළ බවයි ශ්‍රී ලංකා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර