බොදු බල සේනාවට සුළු ජාතීන්ගේ ප්‍රතිචාරය

Image caption බොදු බල සේනාවට එරෙහිව මහනාහිමියන්ට කරුණු කීමට යන ඇමතිවරයා

බොදු බල සේනා සංවිධානය සිය සුගතදාස ක්‍රීඩාංගණ සමුළුවේ දී යෝජනා කළ පරිදි ශ්‍රී ලංකාවේ නම වෙනස් කොට ‘සිංහලය’ යනුවෙන් යළි නම් කළ යුතුද යන්න සහ රට තුළ වාසය කරන සුළු ජාතීන් සහ සුළු ආගමික කොටස් ‘සිංහල කිතුනු’ ‘සිංහල හින්දු’ සහ ‘සිංහල මුස්ලිම්’ යනාදී වශයෙන් හැඳින්විය යුතුද යන්න මුල් කර ගනිමින් විවාදයක් ආරම්භ වී ඇත.

මේ සම්බන්ධයෙන් බීබීසී සංදේශය, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාත් සාලිගෙන් විමසීමක් කළ විට මන්ත්‍රීවරයා කියා සිටියේ, බොදු බල සේනා සංවිධානය සුගතදාස සමුළුවේ දී ඉස්ලාම් දහමට අවමං කළ බවයි.

බීබීසී සංදේශයට වැඩි දුරටත් අදහස් දැක් වූ පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි සුගතදාස,බොදු බල සේනා සමුළුව සාමය වෙනුවෙන් කැඳ වූ බෞද්ධ සමුළුවක් නොවන බවයි සඳහන් කළේ.

‘බොදු බල සේනා සමුළුවට ආණ්ඩුවේ බලවතුන්ගේ අනුග්‍රහය සහ අනුමැතිය ලැබුණා. ලෝකය පිළිගත් බෞද්ධ නායකයකු වන දලයි ලාමාට අවසර දුන්නේ නැතත් බුරුමයේ මුස්ලිම් ජන ඝාතන වලට වග කිව යුතු අශින් විරතු භික්ෂුවට රටට ඇතුල් වීමට ශ්‍රී ලංකා බලධාරීන් අවසර දුන්නා’ අසාත් සාලි මන්ත්‍රීවරයා පවසයි.

ආණ්ඩුවේම හඬක්

ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන දෙමළ ජාතික කතෝලික සහ ක්‍රිස්තියානි ලබ්ධිකයන් ‘සිංහල කිතුනුවන්’ හැටියට හැඳින්වීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය කරන යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පල කරමින් ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරයේ මාරිමුත්තු පිල්ලේ සත්‍යවේල් පියතුමා කියා සිටියේ, ඒ ඒ ජාතීන්ට සහ ආගමික කොටස්වලට ඔවුන්ගේම වූ අනන්‍යතාවක් පවතින බවයි.

Image caption අසාත් සාලි මන්ත්‍රීවරයා.

‘බොදු බල සේනා සංවිධානය නිරත වී සිටින්නේ අනිකුත් සියලුම ජාතීන් ආගමිකයන් අතු ගා දැමීමේ ව්‍යාපෘතියක. මේ රට එහි ජීවත් වෙන සියලු ජනතාවගේ රට බවට පත් විය යුතුයි. එහෙත් මේ සංවිධානාත්මක කණ්ඩායම රාජ්‍ය අනුග්‍රහයත් ඇතිවයි ඔවුන්ගේ ජාතිවාදී ආගම්වාදී මතවාදය වපුරන්නේ. අපි බොදු බල සේනාව ඊයේ නැගූ හඬ සලකන්නේ රජයේ හඬ හැටියටයි’ ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරයේ මාරිමුත්තු පිල්ලේ සත්‍යවේල් පියතුමා කියා සිටී.

රජයේ ප්‍රතිචාරය

බොදු බල සේනා සංවිධානය ‘ශ්‍රී ලංකාව’ යන රටේ නම වෙනස් කිරීමට කරන යෝජනාව ගැන ධීවර ඇමති දොස්තර රාජිත සේනාරත්නගෙන් බීබීසී සංදේශය විමසීමක් කළ විට ඇමතිවරයා කියා සිටියේ, අතීතයේ රට විවිධ නම්වලින් හඳුන්වා ඇති අතර බණ්ඩාරණායක මැතිනියගේ රජය විසින් 1972 වසරේ සම්මත කරන ලද ජනරජ ව්‍යවස්ථාව මගින් රටට උචිත නාමයක් නිර්දේශ කරන ලද බවයි.

රට තුළ වාසය කරන සුළු ජාතික සහ සුළු ආගමික කොටස් සිංහල විශේෂණයක් ද සහිතව හැඳින්විය යුතු බවට බොදු බල සේනා සංවිධානය කරන යෝජනාවට ප්‍රතිචාරය පළ කරන ඇමතිවරයා ‘එංගලන්තයේ වෙසෙන සිංහලයන් ‘ඉංග්‍රීසි සිංහල’ සහ ජර්මනියේ වෙසෙන සිංහලයන් ‘ජර්මන් සිංහල’ ආදී වශයෙන් හැඳින්විය හැකිදැයි’ ප්‍රශ්න කළේය.

රට තුළ පවතින අවාසනාවන්ත වර්ගවාදී සහ ආගම්වාදී බෙදීම් බොදු බල සේනා ක්‍රියාකාරකම් නිසා තවත් උග්‍ර අතට හැරිය හැකි බවට ධීවර ඇමති දොස්තර රාජිත සේනාරත්න අනතුරු ඇඟවීමක් ද කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර