විදුලි බිල අඩු කිරීම ගෘහස්ථ ඒකකවලට පමණයි - රජය

Image copyright AFP Getty Images

ජනාධිපතිවරයා පසුගියදා නිවේදනය කල 25% ක විදුලි බිල අඩු කිරීම, ඒකක සිමා නොමැතිව සියළු ගෘහස්ථ පාරිභෝගිකයන්ට ලබා දෙන බව රජය නිවේදනය කරයි.

අද, අඟහරුවාදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කලේ අදාළ අඩුකිරීම් නොකරන බවට පලවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.

ගෘහස්ථ පාරිභෝගිකයන්

මේ සම්බන්ධයෙන් අද පැවතී කැබිනට් මාධ්‍ය හමුවේදී සාකච්ඡාවූ බව පැවසූ අමාත්‍යවරයා පැවසුවේ එහිදී තීරණය වුයේ සියලු ගෘහස්ථ පාරිභෝගිකයන්ට ඒකක සීමාවක් නොමැතිව මෙම සහනය ලබාදීම බවයි.

මෙම සහනය කර්මාන්ත, සංචාරක, පන්සල් ආදී අනිකුත් අංශවලට හිමි නොවන බවයි අමාත්‍යවරයා මාධ්‍යකරුවකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ.

එහිදී බිබිසිය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කලේ මෙම සහනය ගෘහස්ථ ඒකක වලට පමණක් හිමි වන බව ජනාධිපතිවරයා නිවේදනය කළ අවස්ථාවේදී නොපැවසුවේ ඇයිද යන්නයි.

"ජනාධිපතිතුමා වේදිකාවට නැග්ගහම මේක කඩල, බෙදලා හෝටලයට මෙච්චරයි, පන්සලට මෙච්චරයි කියල කියන්නේ නැහැ, ප්‍රශ්නයක් තිබ්බේ ගෘහස්ථ. අනිත් ඒවා වලට නොවෙයි , ඒක එතුමා ප්‍රකාශ කළා. හැබැයි මම පිළිගන්නේ නැහැ රටේ ජනාධිපතිතුමාගෙන් අංක ගණිතය දාල සියලු තොරතුරු බලාපොරොත්තු විය යුතුයි කියලා"

ජනතාව රැවටීම

සියලු දෙනාට විදුලි බිල අඩු කරන බව පවසා දැන් එය ගෘහස්ථ පාරිභෝගිකයන්ට පමණක් යැයි පැවසීමෙන් ජනාධිපතිවරයා ජනතාව රැවටීමට ලක් කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ සම්බන්ධයෙන් බිබිසියට ප්‍රකාශයක් කරමින් පැවසුවේ.

අදාළ නිවේදනය කිරීමේදී ජනාධිපතිවරයාට "ගෘහස්ථ" යන වචන හතර පැවසීමට නොහැකි වූයේ මන්දැයි මන්ත්‍රීවරයා රජයෙන් ප්‍රශ්න කළේය.

" දැන් කුඩා වෙළඳසැල් හිමියන්ට, කුඩා කාර්යාල පවත්වා ගෙන යන අයට, කුඩා තේ වතු හිමියන්ට වගේ ව්‍යාපාර කරන කිසිවකුට මේ සහනය ලැබෙන්නේ නැහැ, හැබැයි වැඩි කරන කොට මේ සියලු පාර්ශවවල වැඩි කිරීම් කළා"

විදුලි බිල අඩු කිරීම, ඌව මැතිවරණය ජය ගැනීම සඳහා ආණ්ඩුව යෙදූ උප්පරවැට්ටියක් බව පැවසූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මෙම ගෘහස්ථ සහනයද ලබා දෙන්නේ ජනාධිපතිවරණය ජනවාරියේ පැවැත්වීමට සැලසුම් කරන නිසා බවයි පැවසුවේ