නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ගැන විපරමින් ?

නැගෙනහිර පළාත තුළ පසුගියදා කළ සංචාරයක් අතරතුර දී යම් කිසි පිරිසක් තමා පිළිබඳ සෝදිසියෙන් පසු වූ බවට ඉඟි පළ වූයේ යැයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ලෝරා ඩේවිස් කියා සිටියාය.

Image copyright fco.gov.uk

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාල වෙබ් අඩවි පිටුවක ලිපියක් පළ කරමින් ඇය මේ බව පැවසුවාය.

පසුව යම් කිසි පිරිසක් එම සංචාරයෙදී තමා හමු වී කතාබස් කළ පුද්ගලයන් හමුවට පැමිණ ඇති බව හා ඔවුන්ට දුරකතන ඇමතුම් ලැබී ඇති බවත් ඇය සඳහන් කරයි.

තමා කළ කී දෑ සම්බන්ධයෙන් ඇය හමුවට ආ පුද්ගලයන්ගෙන් එම පිරිස් ප්‍රශ්න කර ඇති බව වෙබ් පිටුවේ පළ වූ ලිපියේ සඳහන්.

බයෙන්

එහිදී ඇතැම් පිරිස් තමා හමුවට පැමිණීමට බිය වූ බව සඳහන් කරන මහ කොමසාරිස්වරිය එය පුදුමයට කරුණක් නොවන බව කියා සිටියි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් යුද අපරාධ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වලට සාක්ෂි එක් කිරීමට තමා නැගෙනහිර පළාතට ගොස් සිටින බව ඇතැම් පුවත් පත් වාර්තා කර සිටි බවත් ඇය පවසයි.

ශ්‍රී ලංකාව තුළ ඇති වාතාවරණය බ්‍රිතාන්‍යයට දැන්වීම තම වෘත්තියේ කොටසක් බව පවසන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ලෝරා ඩේවිස් එමගින් ශ්‍රී ලංකාව කෙරෙහි උනන්දුවක් දක්වන බ්‍රිතාන්‍ය ආයෝජකයන් හා සංචාරකයන් දැනුවත් කිරීමටද අවකාශ ලැබෙන බව කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය නැගෙනහිර පළාතේ කළ සංචාරය අතරතුර සිදු වූ බව කියන සෝදිසි කිරීම් සම්බන්ධයෙන් විමසීමට බීබීසීය ඇය සම්බන්ධ කර ගැනීමට ගත් උත්සහය සාර්ථක වුයේ නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර