'ශ්‍රී ලංකාවත් වැඩිහිටියන්ට හොඳ රටක්'

Image copyright courtesy Helpage SriLanka

වයස අවුරුදු හැටට වැඩි පුරවැසියන්ට ජීවත් වීමට සුදුසුම රට ස්වීඩනය බව ජගත් සමීක්ෂණයකින් හෙළි වෙයි.

ග්ලෝබල් ඒජ් වොච් සංවිධානය ( Global Age Watch) 2014 වසර සඳහා සිදුකළ මේ සමීක්ෂණයට රටවල් සියයක් ඇතුළත් වූ අතර, වැඩිහිටියන්ට ජීවත් වීමට සුදුසුම රටවල් තේරීමේ ලැයිස්තුවේ අවසන් රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් කොට තිබේ.

මීට කලින් ලෝකයේ මේ සඳහා හොඳම රට ලෙස තෝරා ගෙන තිබුනේ නොර්වේ රාජ්‍යයයි.

ශ්‍රී ලංකාව

මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව 43 වැනි ස්ථානය හිමි කර ගනිමින් වැඩිහිටියන් සඳහා අවශ්‍ය පරිසරයෙන් යුත් මධ්‍යස්ථ රටක් ලෙස හඳුනාගෙන ඇත.

වැඩිහිටි පරපුරට විවෘතව ඇති සමාජ සම්බන්ධතා, සමාජ ආරක්ෂණය සහ සමාජය තුල ඇති නිදහස යන වටිනාකම් අතින් කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ඉහල මට්ටමක් හිමි කර ගන්නා බව ග්ලෝබල් ඒජ් වොච් සංවිධානය (Global Age Watch) සංවිධානය සිය වාර්තාවේ සඳහන් කරයි.

වැඩිහිටි පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක හෙල්ප් ඒජ් ආයතනය දිවයිනේ වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කොට තිබේ.

එම සංවිධානයේ වැඩසටහන් කළමනාකරු චමින්ද ද සිල්වා පැවසුවේ ශ්‍රී ලංකාව 43 ස්ථානය හිමිකර ගත්තත් සතුටට පත්විය හැකි බවයි.

ආදායම් සුරක්ෂිතතාව, වැඩිහිටියන්ට ලැබී තිබෙන සෞඛ්‍ය පහසුකම්, වැඩිහිටියන් සඳහා ඇති රැකියා අවස්ථා සහ වැඩිහිටියන්ට ජීවත්වීමට ගැලපෙන පරිසරයක් ඇත්ද යන්න මේ සමීක්ෂණයේදී සොයා බලා ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

සෙසු ආසියානු රටවල් හා සසඳා බලන විට ශ්‍රී ලංකාව ඉහල ස්ථානයක සිටින බව පැවසූ ඔහු දකුණු ආසියාවේ පළමු ස්ථානයත්, ආසියාවේ හතර වැනි ස්ථානයත් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවයි පෙන්වා දෙන්නේ.

නැගෙනහිර යුරෝපය

නැගෙනහිර යුරෝපයේ වයසින් වැඩි පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහල යමින් තිබෙන බව ග්ලෝබල් ඒජ් වොච් සංවිධානය (Global Age Watch) සංවිධානය ප්‍රකාශ කරයි.

මේ නිසා එම රටවල් වැඩිහිටි පරපුර සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය ගැන යළිත් අලුතින් සිතා බැලිය යුතු බවත් එම සංවිධානය කියා සිටී.

විශේෂයෙන්ම ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ලබා දීම සඳහා ඇති තරම් අරමුදල් වෙන් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් අවධාරණය කොට තිබේ,

වෙන් කෙරෙන අරමුදල් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් අවධාරණය කොට තිබේ,

අද වන විට ලෝක ජනගහනයෙන් සියයට දොළහක් අවුරුදු 60 ට වැඩි වයසේ පසුවෙති.

එම සංඛ්‍යාව 2050 වන විට දෙගුණය දක්වා ඉහල යනු ඇතැයි විශ්වාශ කෙරේ.