ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ළමා ලෝකයක් අහිමි ළමා පරපුරක්’

ඔක්තෝබර් පළමු වෙනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ද විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබුණි.

ලෝක ළමා දිනය නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා භූමියේ උත්සවයක් පැවැත්වුණි.

මේ අතර වෙන්නප්පුව නයිනමඩම වෙරළේ ද උත්සවයක් පැවැත්වුන අතර එහි තේමාව වී තිබුණේ ‘ලබැඳි සෙනෙහසින් ඔබ රකින්නෙමු -හැමදා’ යන්නයි.

වයඹ පළාතේ මහඇමති දයාසිරි ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන එම උත්සවය නැටුම් ගැයුම් සහ වැයුම් වලින් අලංකාර වූවක් විය.

එම අවස්ථාවේ සංදේශයට ප්‍රකාශයක් කරමින් මහඇමති දයාසිරි ජයසේකර කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ළමා දිනයන්හි මෙතෙක් සිදු වුනේ ‘ළමුන් සතුටු කිරීමක් නොව වැඩිහිටියන් සතුටු වීමක්’ වූ බවයි.

වයඹ පළාතේ සියලු පොල් අතු පාසල් ලබන වසර වන විට උළු සෙවෙලි කළ පාසල් බවට පත් කරන බවට මහ ඇමතිවරයා ප්‍රතිඥාවක් ද දුන්නේය.

වැරදි කරන්නේ වැඩිහිටියන්

නයිනමඩම මුහුදු වෙරළේ ළමා දින උළෙලට පරිවාස භාරයේ සිටින ළමුන් 1500 ක් සහභාගී කර ගත් බව වයඹ පළාත් සභාවේ ළමා ශුභ සාධනය සහ පරිවාස කටයුතු භාර ඇමති සන්ධ්‍යා කුමාර රාජපක්ෂ බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

දෙමාපිය සෙනෙහස අහිමි වුනත් තමන් බලා ගන්නා පාලක පාලිකාවන් දරුවන් ලෙස තමන් රැක බලා ගන්නා බවයි, නයිනමඩම මුහුදු වෙරළේ ළමා දින උත්සවයට සහභාගී කෙරුණ ළමුන් කියා සිටියේ.

ළමා නිවාස කීපයක් පාලනය කරන හලාවත මීසම භාර ෆ්‍රෑන්ක් තිසේරා පියතුමා බීබීසියට කියා සිටියේ, ‘අද ළමුන් ඔවුන්ගේම ලෝකයක් අහිමි පරපුරක් වී ඇති ’බවයි.

‘ළමුන්ට අවශ්‍ය සෙනෙහස ආරක්ෂාව රැකවරණය නැහැ. අද බොහෝ දෙනෙක් හිතන්නේ ළමුන්ගේ කර පිටින් ඉහළට යාමට. මෙය කනගාටුවට මෙන්ම සමාජයේ ලැජ්ජාවට කාරණයක්’ හලාවත මීසම භාර ෆ්‍රෑන්ක් තිසේරා පියතුමා කියා සිටියි.