ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආබාධිත සෙබළු රජයේ යෝජනා ප්‍රතික්ෂේප කරති

ආබාධිත රණවිරුවන්ගේ සංගමය අද බ්‍රහස්පතින්දා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ, හිඟ වැටුප් ගැටලුව නිරාකරණය කිරීම සඳහා රජය මගින් ඉදිරිපත් කර ඇති විසඳුම පිළිගත නොහැකි බවයි.

රණවිරුවන්ගේ සංගමය ඒ බව දැනුම් දුන්නේ විශ්‍රාම වයස එළඹෙන තෙක් මාසික වැටුප් නොගෙවීමට එරෙහිව සංගමයේ ආබාධිත සෙබළුන් දෙසිය අනූදෙදෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් කැඳ වූ අවස්ථාවේදී.

රජය විසින් අධිකරණයට යෝජනා කර තිබුනේ මෙම වසරේ මාර්තු මාසයේ සිට පෙත්සම් කරුවන්ට මාසික වැටුප් ගෙවීමට යුද හමුදාව එකඟ වන බවයි.

හිඟ වැටුප්

එහෙත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින පරිදි හිඟ වැටුප් ගෙවීමට හැකියාවක් නොමැති බවද රජය සිය යෝජනාවලිය තුලින් දැනුම් දී තිබිණ.

රජයේ එම යෝජනාව පිළිගත නොහැකි බව ප්‍රකාශ කළ ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩබ්ලිව්.පි.වික්‍රමසිංහ කියා සිටියේ, සෑම නිලධාරියකුටම විශ්‍රාම ගත් දින සිට අදාළ හිඟ වැටුප් හිමිවිය යුතු බවයි.

"අපට වැටුප් පමණක් ගෙවීම ප්‍රමාණවත් මදි. විශ්‍රාම ගෙන වසර දහය පහළොව වැටුප් අහිමිව සිටින ආබාධිත සෙබළුන් ඉන්නවා. හිඟ වැටුප් නොගෙව්වොත් ඒ අයට අසාධාරණයක් සිදු වෙනවා. ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා මේ පිළිබඳ දැනුවත් නොමැති බවයි අපේ විශ්වාසය. ඔවුන් හමු වීමට අපි උත්සාහ කළා. ඒත් අවස්ථාවක් ලැබුණේ නැහැ" ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩබ්ලිව් .පි. වික්‍රමසිංහ පවසයි.

අධිකරණයේ මැදිහත්වීම

රජයේ නීතිවේදියා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම කාරණය සම්බන්ධයෙන් සමථයක් ඇති කර ගැනීම සඳහා කල් ලබා දෙන ලෙසයි.

ඒ අනුව පාර්ශවකරුවන්ට ගැටලුව සාකච්ඡාවට ගෙන සමථයක් ඇති කර ගැනීම සඳහා කාලය ලබා දීමට අධිකරණය තීරණය කර ඇත.

පෙත්සම නොවැම්බර් මස 11 වනදා නැවත කැඳවීමට නියම කළ අධිකරණය එදිනට අදාළ කටයුතු වල ප්‍රගතිය වාර්තා කරන ලෙසයි රජයේ නීතිවේදියාට නියම කළේ.

ආබාධිත රණවිරුවන්ගේ සංගමය කියා සිටියේ මෙම ගැටලුව නිසා පීඩාවට පත් ආබාධිත සෙබළුන් දෙදහසකට ආසන්න පිරිසක් සිටින බවයි.