ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මාධ්‍ය මර්ධනයට එරෙහිව දිගටම විරෝධතා

බදුල්ල මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට එල්ලවූ ප්‍රහාරයට විරෝධය පළ කිරීම සහ නීතිඥ නාමල් රාජපක්ෂ සහ නීතිඥ මංජුල පතිරාජට එල්ලවී ඇති තර්ජනවලට විරෝධය පෑමට නිදහස් ව්‍යාපාරය විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

අද බ්‍රහස්පතින්දා කොටුව දුම්රියපල ඉදිරිපිට පැවති එම විරෝධතාවට විපක්ෂයේ දේශපලන පක්ෂවල සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ එක්ව සිටියහ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම් කරු සුනිල් ජයසේකර පැවසුවේ පසුගිය මාසය තුළ පමණක් යාපනය සහ ඌව පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිපදෙන්කුමටම බරපතළ ප්‍රහාර එල්ලවූ බවයි.

මෙම ප්‍රහාර සහ සිදුවීම් පිටුපස සිටින්නේ ආරක්ෂක අංශ වලට සම්බන්ධ පිරිස් බව තමන් නිර්භයව ප්‍රකාශ කරන බවයි සුනිල් ජයසේකර පවසන්නේ.

සත්‍ය තොරතුරු සැඟවීම

මෙලෙස ජනමාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරන්නේ ජනතාවට සත්‍ය තොරතුරු ගලා යාම වැලක්වීම සඳහා බව පැවසූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මාධ්‍යයට සිදු වන අසාධාරණයට එරෙහිව සෑම අවස්ථාවකදීම තම පක්ෂය පෙනී සිටින බවයි පැවසුවේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසුවේ සිය ඡන්ද පදනම කඩා වැටීම හමුවේ ආණ්ඩුව ජනතාවට තොරතුරු ගලා යාම වැළැක්වීමට මෙවන් ප්‍රහාර දියත් කරන බවයි.

හෙටත් විරෝධතාවක්

ආණ්ඩුවට එකඟ නොවන මාධ්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර සිදු වන බවයි නව සම සමාජ පක්ෂයේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ.

එම විරෝධතාවට එක්ව සිටි නීතිඥ නාමල් රාජපක්ෂ පසු ගියදා තමන්ට එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් සංදේශයට පැහැදිලි කිරීමක්ද කරනු ලැබීය.

හෙට සිකුරාදා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කොළඹට පැමිණ බදුල්ල මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව විරෝධතාවක් පැවැත්වීමටද නියමිතයි.