‘පැමිණිල්ලක් ඇත්නම් විභාග කරන්න’- චම්පික

බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ඔහුට පහර දීමක් සිදු වූ බවට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට නිල පැමිණිල්ලක් කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී විභාගයක් ආරම්භ කළ යුතුව ඇතැයි තාක්ෂණ සහ පර්යේෂණ ඇමති චම්පික රණවක පවසයි.

ආණ්ඩුව තුල ජාතික හෙළ උරුමය නියෝජනය කරන චම්පික රණවක ඇමතිවරයා මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් පසුගිය අවධියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවයි.

පසුගිය දා ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු කළ සංචාරයක් අතරවාරයේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පහර දීමකට ගොදුරු වූ බව බොහෝ මාධ්‍ය මගින් වාර්තා කර තිබුණ අතර පහර දීම සිදු කරන ලද්දේ විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන වන බවයි එම ඇතැම් මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණේ.

මේ සම්බන්ධයෙන් ඉහත කී මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් පළ කළ චම්පික රණවක ඇමතිවරයා ක්‍රිස් නෝනිස් මහකොමසාරිස්වරයා ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමක් සහිත ඉහළ මට්ටමේ නිලධාරියකු වන බවත් පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව අතරවාරයේ මහකොමසාරිස්වරයා රට වෙනුවෙන් ලෝකයට ඉතා සාර්ථක මට්ටමින් කරුණු පැහැදිලි කළ බවත් සිහිපත් කළේය.

තරාතිරම නොබලා දඬුවම්

Image copyright sajindevass.com

‘ක්‍රිස් නෝනිස් මහ කොමසාරිස්වරයා ඔහුට පහර දීමක් සිදු වූ බවට යම්කිසි නිල පැමිණිල්ලක් කරනු ලැබ ඇත්නම් ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය පියවර ගත යුතුයි. එවැනි පැමිණිල්ලක් නැත්නම් කටකතා හෝ වෙබ් අඩවි ආදියේ පළවෙන දේවල් මත විදේශ අමාත්‍යංශයට ක්‍රියා මාර්ගයක් ගන්න බැහැ’ ඇමතිවරයා පවසයි.

එවැනි නිල පැමිණිල්ලක් තිබේ නම් අදාළ වැරදි කරුවන්ට තරාතිරම නො බලා දඬුවම් කළ යුතු බවත් චම්පික රණවක ඇමතිවරයා කියා සිටියි.

මේ අතර ඉහත කී පහර දීම සම්බන්ධයෙන් නම් කරනු ලැබ ඇති සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද, බ්‍රහස්පතින්දා(02) උදේ 9.30 ට මාධ්‍ය හමුවක් කැඳවා තිබුනත් එය අවලංගු කරන ලද බව පසුව නිවේදනය කෙරිණ.

එම අවලංගු කිරීමට බල පෑ හේතූන් නිල මට්ටමින් ප්‍රකාශයට පත් කොට නොමැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර