පාප් වහන්සේගේ සංචාරය 'සහජීවනය වෙනුවෙන්'

Image copyright Reuters
Image caption සංචාරය දේශපාලන වාසි ලබා ගැනීමේ අවස්තාවක් නොවිය යුතු බව 'දැනටමත් පවසා තිබෙනවා'

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ යෝජිත ශ්‍රී ලංකා සංචාරය සාමය හා සහජීවනය වෙනුවෙන් හැර වෙනත් කටයුත්තකට යොදා ගැනීම වතිකානයේ අරමුණ නොවන බව වාර්තාකරුවෝ පවසති.

වතිකාන ගුවන් විදුලියේ සංස්කාරකවරයකු වන රොබින් ගෝමස් ඒ බව කියාසිටියේ, ලබන ජනවාරි මාසයේ හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නම් ඒ පිළිබඳව වතිකානයේ ප්‍රතිචාරය කවරක් වනු ඇත්දැයි බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

වතිකානය ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කොට නැති බව සඳහන් කළ රොබින් ගෝමස්, කෙසේ නමුත් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලන වාසි ලබා ගැනීමේ අවස්ථාවක් නොවිය යුතු බව මැල්කම් රංජිත් කාදිනල්තුමා දැනටමත් ප්‍රකාශ කොට තිබෙන බව පෙන්වා දුන්නේය.

ලබන ජනවාරි 13 සහ 14 දිනවල පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව වතිකානය දැනටමත් නිවේදනය කොට තිබේ.

ඒ සඳහා පාප් වහන්සේට නිල වශයෙන් ආරාධනා කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ වතිකානයේ සංචාරයක නිරත වී සිටියි.

ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස්වල සාධාරණ ගැටලුවලට විසඳුම් ලැබෙනු දැකීම සිය අපේක්ෂාව බව පාප් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූ අවස්ථාවේ සඳහන් කළ බවත් රොබින් ගෝමස් සංදේශයට පැවසීය.

පාප් වහන්සේගේ සංචාරයට දින කිහිපයකට පෙරාතුව හදිසි ජනපතිවරණයක් කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කොට ඇති බව ජනමාධ්‍ය මෙන්ම විරුද්ධ පක්ෂද පවසන අතර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ විශේෂ කාර්යාලයක්ද පසුගියදා විවෘත කෙරුණු බවත් ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි.