පාප් වහන්සේට ලිපියක්

Image copyright Reuters

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර හදිසියේ ජනාධිපතිවරණයක් කැඳවීම මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයතීන් උල්ලංඝනය වන බව පෙන්වා දෙමින් සාධාරණ සමාජයක් සඳහා නීතිඥයෝ සංවිධානය ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප් වහන්සේට ලිපියක් යවයි.

ආණ්ඩුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවුවහොත් පාප් වහන්සේගේ සංචාරය කල් දමන ලෙස තමන් එම ලිපිය මගින් ඉල්ලා සිටි බවයි එම සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ශිරාල් ලක්තිලක සංදේශයට පැවසුවේ.

මැතිවරණයක් ආසන්නයේ පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම, කතෝලික ජනතාවට ලබා දෙන ජන්ද අල්ලසක් ලෙස යොදාගැනීමට ඇති හැකියාව හා හදිසි ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමෙන් ජන්ද ප්‍රචාරක කාලය සිමා වීම යන කරුණු දෙක මුල් කරගනිමින් පාප් වහන්සේගෙන් මෙම ඉල්ලීම කළ බවයි සාධාරණ සමාජයක් සදහාවූ නීතිඥයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ ශිරාල් ලක්තිලක සංදේශයට පැවසුවේ.

කතෝලික සභාව

පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ජනවාරි 13,14,15 යන කාල වකවානුවේ කිසිදු මැතිවරණ කටයුත්තක් නොපවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් කතෝලික සභාව ඉල්ලීමක් කර තිබෙන අතර එලෙස මැතිවරණයක් පැවැත්වුවහොත් පාප් වහන්සේ සිය සංචාරය අවලංගු කරනු ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

පාප් වහන්සේගේ සංචාරයට පෙර ආණ්ඩුව ජනවාරි 7 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශිරාල් ලක්තිලක පෙන්වා දෙන්නේ

" පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීම අපි භාග්‍යයක් කොට සලකනවා. එතුමන් ශ්‍රී ලංකාවට පැමිණ යුතුයි. නමුත් අපි ලිපියක් මගින් දැන්වුවා එක්කෝ ජනාධිපතිවරණය උන්වහන්සේගේ පැමිණීමෙන් පසුව සිදු කල යුතුයි, එහෙම නැත්නම් මෙම සංචාරය ජනවාරි 13 සිදු නොකොට වෙනත් දිනයක සිදු කල යුතුයි කියලා"

ජන්ද ප්‍රචාරණය

Image copyright Reuters

ජනාධිපතිවරණ පනත අනුව උපරිම මාස දෙකක කාලයක් ජනාධිපතිවරණ ජන්ද ප්‍රචාරණයට යොදා ගත හැකි බව පවසන නීතිඥ ශිරාල් ලක්තිලක දැන් තිබෙන තත්වය අනුව පාප් වහන්සේගේ සංචාරය නිසා ජනාධිපති අපේක්ෂකයන්ට නිසි ලෙස ප්‍රචාරක කටයුතුවල නියැලීමට කාලය හිමි නොවන බව තමන් ලිපියෙන් පෙන්වා දුන් බවයි පැවසුවේ .

ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයක් කැඳවිය හැක්කේ තම වසර 4ක් සේවා කාලය සම්පුර්ණ වන නොවැම්බර් 19 වැනිදායි.

" නොවැම්බර් 19 වැනිදා ජනාධිපතිවරණය කැඳවුවොත්, නාම යෝජනා සඳහා ලැබෙන උපරිම කාලය දෙසැම්බර් 19 දක්වා තියෙනවා, නමුත් එය අවම කාලයට ගත්තොතින් දෙසැම්බර් 3 දක්වා අඩු කරන්න පුළුවන්.

ඊට පස්සේ ජනවාරි 13ට පෙර මැතිවරණය පැවැත්විය යුතු නිසා මහජනයාට ප්‍රචාරක කටයුතු කරන්න ලැබෙන්නේ මාසයක වගේ කාලයක්, මෙය බරපතළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්, " ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය

මැතිවරණයක් ඉක්මනින් පවත්වා අවසන් කිරීමට කිසිදු නිත්‍යානුකුල අවශ්‍යතාවක් නැති බව පෙන්වා දුන් නීතිඥ ශිරාල් ලක්තිලක පාප් වහන්සේගේ සංචාරයට පෙර ජනාධිපතිවරණය පවත්වන්නට උත්සාහ කරන්නේ කතෝලික ඡන්ද ලබාගැනීමේ උපායක් හැටියට බවයි පැවසුවේ.

"ජනතාව ඉල්ලපු ඡන්දයක් නෙවෙයි මේක, මේ ඡන්දය බලෙන් ඔබ්බවන්නේ විශේෂයෙන්ම රෝමානු කතෝලික ජනතාවට පාප් වහන්සේ හරහා මානසික අල්ලසක් ලබා දීලා ඒ ඡන්ද ටික ලබාගන්න," ඔහු ප්‍රකාශ කළේය.

Image copyright Reuters

අද, සිකුරාදා දිනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා පාප් වහන්සේගේ අතර හමුවේදී පාප් වහන්සේ ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳව විමසා ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ නීතිඥ ශිරාල් ලක්තිලක රෝමානු කතෝලික පල්ලිය සාමානයෙන් ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳව බෙහෙවින් සංවේදී වූ ආයතනයක් බවයි පැවසුවේ

" ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සිඳීයාම පිළිබඳව පසුගිය කාලයේ වතිකානයත් විටින් විට සිය කනස්සල්ල පලකර තිබුන, හුදු ආගමික සංචාරයක් ලෙස සලක මේ සම්බන්ධයෙන් කටයුතු නොකර ජනාධිපතිවරණය හා සංචාරයට අදාළ සන්දර්භය සැලකිල්ලට අරගෙන තීන්දුවක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා," නීතිඥ ශිරාල් ලක්තිලක තවදුරටත් පැවසුවේය.

සාධාරණ සමාජයක් සදහාවූ නීතිඥයෝ සංවිධානය පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සදහාවූ ජනතා ව්‍යාපාරයට සම්බන්ධ නීතිඥයන්ගේ සංවිධානයයි.